අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තදවැසි

Share

මධ්‍ය-බටහිර සහ නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින අතිශයින් චණ්ඩ සුළි කුණාටුව (‘ෆොනී’) අප්‍රේල් 30 වන දින රාත්‍රී 11.30 වන විට ත්‍රිකුණාමලය සිට ඊසාන දෙසින් කි.මී.650 පමණ දුරින් උතුරු අක්ෂාංශ 13.5 ත් නැගෙනහිර දේශාංශ 84.4 ත් ආසන්නව ස්ථානගතව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් උතුරට බරව ඊසාන දෙසට ගමන් කරනු ඇතැයි අනුමාන කෙරේ.

දිවයිනේ සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති අතර තද සුළං සහ තද වැසි තත්ත්වයක් තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තු වේ.

දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කඳුකර ප්‍රදේශ වලත් උතුරු, උතුරුමැද, ඌව සහ දකුණු පළාත්වලත් පුත්තලම, ත්‍රිකුණාමලය සහ මඩකළපුව දිස්ත්‍රික්ක වලත්විටින් විට හමන පැ.කි.මි.60 දක්වා තද සුළං බලාපොරොත්තු වියහැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සබරගමුව, මධ්‍යම, දකුණු, බස්නාහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී.(100-150) පමණ ඉතා තද වර්ෂාපතනයන්ද ඌවපළාතේ සහ මන්නාරම, යාපනය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. (75-100) පමණ තරමක් තද වර්ෂාපතනයන් ද ඇති විය හැක.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමුකරන ලෙස මහජනතාවගෙන් සහ ධීවර හා නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

Read more

Local News