අද ලෝක කම්කරු දිනයයි

Share

ලෝක කම්කරු දිනය හෙවත් මැයි දිනය අදයි.

1886 වසරේ දී අමෙරිකාවේ චිකාගෝ නගරයේ දී පැය අටක වැඩ මුරයක් ඉල්ලා කම්කරුවන් විසින් ආරම්භ කළ කම්කරු සටන සංඛේතවත් කරමින් ලොව පුරා මැයි දිනය සමරනු ලබයි.

කෙසේවෙතත් පසුගිය අප්‍රේල් මස 21 වන දින මෙරට සිදුවු ඛේදජනක සිදුවීමත් සමඟ මෙවර මැයි දින පෙළපාලි නොපැවැත්වීමට මෙරට දේශපාලන පක්ෂ හා සංවිධාන පියවර ගෙන ඇත.

රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයා පවසන්නේ වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් සමඟ එක්ව නිදහස් පක්ෂ මැයි දින සැමරුම ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වෙන බවයි.

එක්සත් ජාතික පක්ෂය ද මෙවර මැයි දින සැමරුම නොපවත්වන බව එම පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා පැවසුවේය.

ජනතා විමුක්ති පෙරමුණ ද මෙවර මැයි දින සැමරුම පක්ෂ මූලස්ථානයේ දී සිදුකරන බව බිමල් රත්නායක මන්ත්‍රීවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කෙරෙන මැයි දින සැමරුම කෝට්ටේ නගර සභා ශාලාවේ දී පැවැත්වීමට නියමිත බව උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පවසා සිටියි.

පෙරටුගාමී පක්ෂය ද මෙවර මැයි දින සැමරුම කොටුව දුම්රියපල ඉදිරිපිට දී සිදුකරන බව එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා සඳහන් කළේය.

මේ අතර මෙවර මැයි දින සැමරුම සම්බන්ධයෙන් ජනතාවට සහන ලබාදීමට කටයුතු කරන බවයි කම්කරු අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා පවසා සිටියි.

Read more

Local News