මෙරටට වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් අයවැය 2018 මගින් ප්‍රකාශයට පත්කරන ලද ප්‍රතිපත්ති තවදුරටත් ලිහිල් කරනවා

Share

මෙරටට වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් අයවැය 2018 මගින් ප්‍රකාශයට පත්කරන ලද ප්‍රතිපත්ති තවදුරටත් ලිහිල් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව නොවැම්බර් 09 වන දිනට ප්‍රථම, වාහන ආනයනය කිරීම සඳහා විවෘත කර ඇති ණයවර ලිපි මගින් මෙරටට ගෙනඑනු ලබන වාහන අයවැයට පෙර පැවති තීරුබදු ප්‍රකාරව නිශ්කාශණය කිරීමට අදාළ පුද්ගල ආනයනකරුවන්හට අවසර දෙනු ලැබේ. කෙසේ වෙතත් මෙසේ ආනයනය කරනු ලබන වාහන පැරණි තීරුබදු ක්‍රමය යටතේ 2018 අප්‍රේල් මස 30 දිනට ප්‍රථම නිශ්කාශණය කරගත යුතුවේ.

විද්‍යුත් මෝටර් රථ තීරුබදු සහනය

තවද, ආනයනය කරනු ලබන විද්‍යුත් මෝටර් රථ සඳහා අයවැය 2018 මගින් ලබාදී ඇති තීරුබදු සහනය එක් වසරකට නොවැඩි කාලයක් සහිත භාවිත කරන ලද වාහන වලටද ලබාදීමට තීරණය කර ඇත.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව, මෙසේ වසරක් පැරණි විද්‍යුත් මෝටර් රථ ආනයනය කිරීමේදී රු. දසලක්ෂයක පමණ තීරුබදු සහනයක් හිමිවනු ඇත.

මෙම නව රෙගුලාසි අනුව වසරකට නොවැඩි කාලයක් සහිත භාවිත කරන ලද කිලෝවොට් 100 කට වඩා අඩු ධාරිතාවයකින් යුත් විදුලි කාර් ආනයනය කිරීමේදී වාහනයේ එක් කිලෝ වොට් ධාරිතාවක් සඳහා රු. 12,500 බැගින් තීරුබදු අයකරනු ලැබේ.

වෙනත් බලශක්ති මගින් ධාවනය වන වාහන ආනයනය කිරීම දිරිගැන්වීමේ බදු ව්‍යුහයක් මෙවර අයවැය මගින් හඳුන්වා දී ඇත. වාහන ආනයන ආදායමේ සිදුවන කාන්දුවීම්ද අවම කිරීමේ අරමුණින් එන්ජින් ධාරිතාව මත පදනම් වූ බදු සූත්‍රයක් මුදල් අමාත්‍යවරයා විසින් හඳුන්වා දීම මගින් ඛනිජමය ඉන්ධන මගින් ධාවනය වන වාහන වල බදු ක්‍රමය සාධාරණ ක්‍රමයකට යටත් කර ඇත.

කල්බදු සඳහා ණය අනුපාතය

තවද, මෝටර් කාර් රථ සඳහා දැනට ක්‍රියාත්මක 50:50 වන වටිනාකමට ණය අනුපාතය (LTV) දෙමුහුන් වාහන සඳහා 70:30 අනුපාතය දක්වා වෙනස් කරනු ලැබේ. ඒ අනුව එවැනි වාහනයක් කල්බදු ක්‍රමය යටතේ මිලදී ගන්නා කෙනෙකුට පෙර පැවති වාහනයේ වටිනාකමින් 50% ගෙවීම වෙනුවට 30% ක් පමණක් ගෙවා වාහනයක් කල්බදු ක්‍රමය යටතේ මිලදී ගැනීමේ හැකියාවක් ලැබෙනු ඇත.

ඒ අනුව වාහන සඳහා වටිනාකමට ණය අනුපාතය අනුව මූල්‍යන පහසුකම් පහත පරිදි වේ.

 පෙට්‍රල්/ඩීසල් මෝටර් රථ  වටිනාකමින් 50%
 දෙමුහුන් මෝටර් රථ  වටිනාකමින් 70%
 විදුලියෙන් ධාවනය වන මෝටර් රථ වටිනාකමින් 90%

 

මහල් නිවාස සංකීරණවල නිවාස ඒකක අලෙවියේදී 2018 අප්‍රේල් 01 දින සිට වැට් අයකරනු ලැබේ. එහෙත් 2018 අප්‍රේල් පළමු දිනට ප්‍රථම අත්සන් තබන ලද ගිවිස්නාවක් මත අලෙවි කරනු ලබන නිවාස ඒකක වැට් බදුවලින් නිදහස් කෙරේ.

Read more

Local News