ජනපති ධුරයෙන් අස්වෙන්නේ නෑ – ජනපති

Share

පසුගිය පාස්කු ඉරු දින සිදුවූ ප්‍රහාර මාලාව නිසා තමා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට කිසිදු සැලසුමක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන් මහතා පවසයි.

‘ස්කයි‘ පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ 2001 ජුලි 11 වන දින ඇමෙරිකාවට එල්ල කරන ලද ප්‍රහාරවලින් පසුව ජෝර්ජ් ඩබ්ලිව. බුෂ් හිටපු ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉවත් නොවූ බවත් ඇමෙරිකාවේ ආරක්ෂාව තවදුරටත් තර කළ බවය.

ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයා 2001 සිදු කළ ආකාරයට තමාද රටේ ආරක්ෂාව තහවුරු කිරීමට බලාපොරොත්තු වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන් මහතා සඳහන් කළේය.

මේ අතර ජනාධිපතිවරයා සඳහන් කළේ රටේ ජනතාව තමාගෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලීම් කර නොමැති බවය.

එමෙන්ම පාස්කු ඉරු දින සිදුවු ප්‍රහාර මාලාව සැලසුම් කිරීම පිටුපස විදේශීය සැලසුම්කරුවෙකු සිටින බවට විශ්වාස කළ හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියි.

බෝම්බකරුවන් සිය ප්‍රහාර එල්ල කිරීමට පෙර දුරකතනයෙන් කිසියම් පුද්ගලයෙකු හා අදහස් හුවමාරු කරගැනීම, ඔවුන් පුහුණුවලට සහභාගීවීම හා ඔවුන්ගේ නායකයින් විසින් සිදුකර ඇති ප්‍රකාශ හේතුවෙන් මෙම ප්‍රහාර මාලාව සඳහා විදෙස් සැලසුම්කරුවෙකුගේ උපදෙස් ලැබෙන්නට ඇති බවට විශ්වාසය පළ කළ හැකි බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

මේ අතර කුඩා රටවල් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කිරීම අයි.එස්. සංවිධානයේ නව ක්‍රමෝපායක් විය හැකි බව එහිදී ප්‍රකාශ කර ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ‘තම රට අත්හරින ලෙස‘ අයි.එස්. සංවිධානයට පණිවුඩයක් ද ලබාදී ඇත.

පාස්කු ඉරු දින ප්‍රහාර සඳහා යොදාගත් බෝම්බ මෙරට නිෂ්පාදනය කර ඇති බවට විමර්ශකයින් විසින් අනාවරණය කරගෙන ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ස්කයි පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවේදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Read more

Local News