මහින්දගෙන් කථානායකට ලිපියක්

Share

ලබන 07වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු වැඩසටහන සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කථානායකවරයා වෙත ලිපියක් යොමු කර ඇත.

ඒ එදින පාර්ලිමේන්තු වැඩසටහනට අනුකූල පස්වරු 5.30 සිට රාත්‍රී 7.30 දක්වා පැවැත්වීමට යෝජිත සභාව කල් තැබීමේ යෝජනාවට අදාළ විවාදය, රට තුළ පවතින තත්ත්වය විශේෂ තත්වයක් ලෙස සළකා එදින පස්වරු 1.00 සිට රාත්‍රි 7.30 දක්වා පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමිනි.

පසුගිය 21වනදා සිදු වු අවසනාවන්ත ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් මුළු මහත් රටම කම්පාවට පත්ව ඇති බවට පෙන්වා දෙන විපක්ෂ නායකවරයා ඉන් මියගිය හා තුවාල ලැබු පුද්ගලයින්ගේ පවුල් වල ඥතීන් ඉතා අසරණ තත්ත්වයකට පත්ව ඇති බව සිය ලිපියෙන් පෙන්වා දී තිබේ.

එමෙන්ම රටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ගයක් වන සංචාරක කර්මාන්තය මේ වන විට සම්පුර්ණයෙන්ම අඩපණ වී ඇති අතර ඒ හේතුවෙන් සංචාරක කර්මාන්තය මත යැපෙන පවුල් රාශියක්ද අසරණ තත්ත්වයට පත්ව ඇති බව මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියි.

මේ වනවිට රට තුළ දෛනික වැටුපෙන් ජීවත්වන ලක්ෂ සංඛ්‍යාත පිරිසක්ද සිය දෛනික අවශ්‍යතාව පවා සිදු කර ගැනීමට නොහැකිව අසරණ තත්ත්වයට පත් වී සිටින බව විපක්ෂ නායකවරයා කථානායක කරු ජයසුරිය මහතා වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් දක්වා තිබේ.

Read more

Local News