ලංකාවේ ප්‍රහාරවලට සම්බන්ධ බෝම්බකරුවන් ඉන්දියාවේ සංචාරයක ?

Share

ශ්‍රී ලංකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාවට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවන් ඉන්දියාවේ සංචාරය කර ඇති බවට පල වන වාර්තා සැලකිල්ලට ගනිමින් එරට ප්‍රදේශ කිහිපයක ආරක්ෂාව තර කිරීමට ඉන්දීය ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

ප්‍රහාර මාලාවට සම්බන්ධ පුද්ගලයින් ඉන්දියාවේ බැංග්ලෝර්, කාෂ්මීර් මෙන්ම කේරළ යන ප්‍රදේශවල සංචාරය කරමින් පුහුණුව ලබා ඇති බවට  හා තවත් ත්‍රස්ත කණ්ඩායම් සමග සබදතා ගොඩනගාගෙන ඇති බවට  පසුගියදා බිබිසී පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී යුධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා ප්‍රකාශ කර තිබුණි.

ඒ අනුව බැංග්ලෝර් ඇතුළු ප්‍රදේශවල ආරක්ෂාව තර කිරීමට ඉන්දීය ආරක්ෂක අංශ පියවර ගෙන ඇති අතර විශේෂයෙන් ආගමික ස්ථානවල, දුම්රිය ස්ථානවල මෙන්ම මහජනයා විශාල වශයෙන් ගැවසෙන ස්ථානවල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ශ්‍රී ලංකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් අනතුරුව ඊට සම්බන්ධ කණ්ඩායම්වල පුද්ගලයින් සොයා ඉන්දීය ආරක්ෂක අංශ පසුගියදා කේරළ ප්‍රාන්තයේ සෝදිසි මෙහෙයුම් සිදුකර තිබූ අතර සැකකටයුතු පුද්ගලයින් කිහිපදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

Read more

Local News