බදුර්දීන් රටින් ගියේ නීත්‍යානුකූලවද ?

Share

අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා විදෙස් ගත වූයේ නීත්‍යානුකූලව බැවින් ඒ සඳහා චෝදනා එල්ල කළ නොහැකි බව දකුණු පළාත් හිටපු මන්ත්‍රී එක්සත් ජාතික පක්ෂ බලපිටිය ආසන සංවිධායක අශෝක ධනවංශ ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියි.

එසේ නමුත් රට තුළ ඇතිවූ ගැටලුව සම්බන්ධයෙන් දිගින් දිගටම තමා වෙත චෝදනා එල්ල වෙමින් ඇති තත්ත්වයක චෝදනා සඳහා පැහැදිලි පිළිතුරු ඉදිරිපත් කිරීමට රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා අපොහොසත් වූ බවද ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.

එසේම දිගින් දිගටම චෝදනා එල්ල වන රජයේ අමාත්‍යවරයෙක් පිළිබඳ නිසි පරීක්ෂණයක් පැවැත්වීමට රජය ද අපොහොසත් වූ බව ඔහු සඳහන් කරයි.

අද (05) උදෑසන අම්බලංගොඩ, කන්දේගොඩ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී සිය අදහස් පල කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය.

තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන්ගේ වචනයට කීකරු වූ එකදු ක්‍රිස්තියානි භක්තිකයෙක්වත් ප්‍රකෝපකාරී ලෙස හැසිරීමෙන් වැළකී රජයට වගකිව යුතු ලෙස ක්‍රියාත්මක වීමට ඉඩ දුන් බවත් ය.

එනිසා අගරදගුරුතුමන් වන්දනීය නායකයෙකු බව ඒ මහතා ප්‍රකාශ කර සිටියි.

කුමන නිකායකට අයත් වුවද සියලුම කිතුණුවන් එතුමන්ගේ වචනයට අවනත වීම අගය කළ යුතු බව හිටපු මන්ත්‍රී අශෝක ධනවංශ මහතා සඳහන් කළේය.

රටේ ජනතාව සංසුන්ව සිටින තත්ත්වයක් තුළ රට තුළ ආරක්ෂාව තහවුරු කිරීමට රජයට ඉතාම පහසු වාතාවරණයක් පවතින බවත් එනිසා ත්‍රස්තවාදය පරාජය කිරීමට රජයට පූර්ණකාලීන අවධානය යොමු කළ හැකි බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියි.

Read more

Local News