රට වෙනුවෙන් එකට සිටිමු තෙවන අදියර අද ඇරඹේ

Share

“රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩසටහනේ තෙවන අදියර අද(06) අම්පාර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ විය. අද(06) පමණක් මහජන වැඩසටහන් 600ක් ක්‍රියාත්මක වෙයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ තෙවැන්න අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 20ක් ඉලක්ක කර ගනිමින් ජනතා වැඩසටහන් රාශියක් මැයි මස 06 දින සිට 11 දින දක්වා ක්‍රියාත්මක කෙරෙන බව අම්පාර දිසාපති ඩී. එම්. එල්. බණ්ඩාරනායක මහතා පවසයි.

දිවයිනේ විශාලතම දිස්ත්‍රික්කයක් වශයෙන් සැලකෙන අම්පාර දිස්ත්‍රික්කය රටේ සමස්ත සහල් සැපයුමෙන් 1/4කට දායක වන අතර එහි හය ලක්ෂයකට අධික ජනතාවක් ජීවත් වෙති.

සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ජනතාවක් ජීවත්වන මෙම දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 507ක් ඉලක්ක කරගෙන රට වෙනුවෙන් එකට සිටිමු සංවර්ධන වැඩසටහන මගින් ප්‍රධාන ව්‍යාපෘති 20ක් හා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරන ජාතික වකුගඩු නිවාරණ වැඩ සටහන, සුරකිමු දරුවන්, ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහන, රණවිරු සේවා, ජාතික ආහාර සුරක්ෂිත වැඩසටහන, ඩෙංගු මර්ධන, ස්මාට් ශ්‍රී ලංකා, පරිසර සුරැකීම, කසළ කළමනාකරණය, ග්‍රාම ශක්ති මෙන්ම රුක් රෝපණ, ගෙවතු වගාව, පෙර පාසල් හා වැඩිහිටියන් ඉලක්ක කරගත්වැඩ සටහන් රැසක් මෙම සතිය පුරා ක්‍රියාත්මක කරන බව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අවධාරණය කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් අනුව ජනාධිපති ලේකම් කාර්යාලය මෙහෙයවන රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩ සටහනට රජයේ අමාත්‍යාංශය, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවලින් සිදු කෙරෙන විවිධ මහජන සේවාවන් ද මෙම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 20ක් තුළ මෙම සතිය පුරා ක්‍රියාත්මක කරයි.

Read more

Local News