ජාතික තලයේ ක්‍රීඩකයන් බිහිකරන්න නම් පාසල් දරුවන්ට පාන් පිටි ආහාර දීමෙන් නොහැකි බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.
අනුරාධපුර මධ්‍ය විද්‍යාලයීය ශ්‍රවනාගාරයේ පැවති රජයේ පාසල් සඳහා නව ක්‍රීඩා පුහුණුලාභීන් අමතමින් අමාත්‍යවරයා මේ සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත අදහස් දක්වමින් වැඩිදුරටත් මේ බව පැවසීය.
“දැන් පාසල් දරුවන් නිසි ආහාර රටාවකට අනුගත නොවීම හේතුවෙන් දෛනික සෞඛ්‍ය පිරිහීමට දරුවන් ලක්වෙනවා. දෛනිකව රටේ බෝ නොවන රෝග අධිරුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝගවලින් මිය යන සංඛ්‍යාව ඉහළ ගිහින් තියෙනවා.
මේ රෝගවලට ගොදුරුවීම වළක්වා ගැනීමට පාසල් කාලය තුළදීම සොඛ්‍යාරක්ෂිත යහපත් ආහාර රටාවකට ජනතාව හුරු කළ යුතුයි. දැන් දරුවන් ශාරීරික අධ්‍යාපනයට යොමු වෙනවා අඩුයි.
ක්‍රීඩාව පාසල් දරුවන්ගෙන් ඈත්වෙලා. මේ සඳහා දෙමාපියන් වගකිව යුතුයි. දරුවන් අමතර පන්ති සඳහා යොමු වෙලා. පාසලේ උදේ උගන්වන ගුරුවරයාට හවසට පුද්ගලික අමතර පන්තියක දරුවාට උගන්වනවා. ටියුෂන් කලාව පමණක් උරුම වෙලා. ක්‍රීඩාව දුරස් වෙලා. දරුවන් නියමිත බර ප්‍රමාණයට වඩා වැඩි වෙලා.
පාන් පිටි ගුලි, ක්ෂණික කෑම දරුවාට දෙමාපියන් හුරු කරලා. ඒ නිසාම අපි තීරණය කළා සෞඛ්‍ය, අධ්‍යාපන අමාත්‍යාංශ එකතු වෙලා පාසල් මට්ටමින් හෙළ බොජුන් හල් ආරම්භ කරන්න. දරුවාට පාන් පිටි ගුලියකට වඩා දේශීයව නිෂ්පාදනය කරනු ලබන කඩල, මුං ඇට වැනි ධාන්‍ය හුරු කළ යුතුයි.
දැන් දරුවන්ට මීටර් 50ක් දුවා ගන්න බෑ. දරුවන්ටත් ක්‍රීඩා කරන්න ශාරිරික වාර්තා ලබා ගන්න වෙලා. දරුවන්ට මව්කිරි දීම ප්‍රතික්ෂේප කරන මව්වරුන් ඉන්නවා, රූපලාවන්‍ය උපදෙස් මත. එයින් දරුවන්ගේ පෝෂණ තත්ත්වය දුර්වල වෙනවා.
දැන් අපි තිරණය කරලා ක්‍රියාත්මක කරනවා දුෂ්කර පාසල් ළමුන් සෑම දෙනාටම කිරි වීදුරුවක් ලබා දෙන වැඩසටහන. ඒ දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ දැමීම උදෙසා ගත් ක්‍රියාමාර්ගයක්.
රටේ විනයක් ඇති හොඳමානසික හා සෞඛ්‍ය තත්ත්වයෙන් හෙබි දරු පරපුරක් බිහි කරන්න නම් ක්‍රීඩාව අත්‍යවශ්‍ය යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.“