ගෝඨාගේ නඩුවේ මුලික විරෝධතා පිළිබඳ නියෝගය මැයි 17

Share

කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය දුන් නියෝගයකට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් නීතිපතිවරයා මතුකළ මූලික විරෝධතා පිළිබඳ නියෝගය මේ මස 17 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියම කළේය.

අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබීය.

එතෙක් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පවතන ඩී .ඒ .රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයට අදාල නඩුව විභාගයට නොගෙන සිටීමට ද නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ එකඟ විය.

විශේෂ මහාධිකරණ නියෝගයට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් නීතිපතිවරයා විසින් ඉකුත්දා මූලික විරෝධතාවක් මතු කළේය.

එම මූලික විරෝධතා වලට අදාලව ලිඛිත දේශන ඉදිරිපත් කරන බව ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා දැනුම් දුන්නේය.

ඉන් අනතුරුව මෙම මූලික විරෝධතාව පිළිබඳ නියෝගය මේ මස 17 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියම කළේය.

පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ කියා සිටින්නේ මැදමුලන ඩී. ඒ .රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන තිස් හතරකට ආසන්න රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් තමන් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති බවයි.

එම නඩුව විභාග කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් තම නීතිඥවරු මූලික විරෝධතාවක් මතු කළ ද එම මූලික විරෝධතාව එම මහාධිකරණය මඟින් ප්‍රතික්ෂේප කළ බව ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේය.

එම මහාධිකරණ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා ඊට අදාල ගොනු විශේෂ මහාධිකරණය වෙත භාර දෙනු ලැබුවද එය භාරගෙන ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රතික්ෂේප කළ බවද රාජපක්ෂ මහතා කියා සිටියේය.

එලෙස තම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීම ප්‍රතික්ෂේප කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ගත් තීන්දුව නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා රාජපක්ෂ මහතා විසින් මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත්කර තිබේ.

මෙම කරුණටම අදාළව ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන තිබෙන තවත් රිට් පෙත්සමක් විභාග කරන විනිසුරු මඩුල්ල නම් කිරිම සඳහා එය ලබන 13 වන දා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා හමුවේ කැඳවන මෙන් ද මෙම අභියාචනාධිකරණ විනිසුරුවරුන් වැඩිදුරටත් නියම කර සිටියේය.

Read more

Local News