ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් නිවේදනයක්

Share

මෙවර වෙසක් පොහෝ දිනය සැමරීමේදී ජනතාව ඒකරාශී කරන බාහිර සැණකෙළි හා උත්සව ආදියෙන් වැළකීමට කටයුතු කිරීම වඩාත් යෝග්‍ය බව ත්‍රෛනිකායික මහනාහිමිවරු පවසයි.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ (06) මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින්ය.

මෙවර වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය සැමරීම සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ අස්සනින් යුතුව අද මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබුණි.

එමඟින් උන්වහන්සේ අවධාරණය කර තිබු‍ණේ ත්‍රස්තවාදී ප්‍රහාරයේ බියජනක ඡායාවන්ගෙන් පීඩිතව  සිටින සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට විත්ත ශාන්තිය උදාකිරීමට කටයුතු කිරීම මෙවර සම්බුදු තෙමඟුල සිහිපත් කරන සැමගේ වගකීම බවයි.

එමෙන්ම වෙසක් පොහෝ දිනය සැමරීමේදී  ජනතාව ඒකරාශී කරන බාහිර සැණකෙළි හා උත්සව ආදියෙන් වැළකීමට කටයුතු කිරීම වඩාත් සුදුසු බව එමඟින් පෙන්වා දී තිබේ.

එසේම මෙම තීරණාත්මක අවස්ථාවේදී මහජන ආරක්ෂාව තහවුරු කරමින් සියලු බෞද්ධ සිද්ධස්ථානවල ආරක්ෂාව උදෙසා අවශ්‍ය විධිවිධාන යෙදීම රජය සතු වගකීමක් බවෙ ඉන් පෙන්වා දී ඇත.

පුණ්‍යක්‍රියා හා වෙනත් වැඩසටහන් සංවිධාන කිරීමේදී ආරක්ෂක අංශවල උපදෙස් මත මහජන ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදෙමින් කටයුතු කරන ලෙස ද මහනාහිමිවරු සමස්ත බෞද්ධ ජනතාවට මෙමඟින් දැනුම් දෙයි.

තවද මෙම ව්‍යසනකාරී තත්ත්වයෙන් රට මුදා ගැනීමට සියලු දේශපාලන නායකයින් භේද පසෙකලා අන්තවාදී ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට තිරසර ප්‍රතිපත්තිමය තීරණ ගනිමින් සතර සංග්‍රහ වස්තූන් මත රාජ්‍ය පාලනය ගෙනයාමට කටයුතු කළ යුතු බවයි මහනාහිමිවරු එමගින් වැඩිදුරටත් පෙන්වා දෙයි.

Read more

Local News