ආරක්ෂ අංශවලට සහ සෞඛ්‍ය සේවයට කථානායකගේ ප්‍රණාමය

Share

ඉතාමත් විනයගරුකව සහ කාර්යක්ෂමව කටයුතු කරමින් මාතෘභූමිය වෙනුවෙන් ස්වකීය යුතුකම් ඉටුකළ කෙටිකලක් තුළ ත්‍රස්තවාදී තර්ජන බිදහෙළිමට කැප වූ ත්‍රිවිධ හමුදා හා පොලිස් සේවාවන්, බුද්ධි අංශ ඇතුළු සමස්ත නිළධාරීනට තම ගෞරව ප්‍රණාමය පුද කර බව කථානායක කරු ජයසූරිය මහතා පවසයි.

එමෙන්ම විපතට පත් වූවන් වෙනුවෙන් පූර්ණ ලෙස කැපවෙමින් අතිවිශිෂ්ඨ සේවාවක් ඉටුකළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවයද එතුමා ගෞරවයෙන් සිහිපත් කර තිබේ.

මේ වනවිට පාස්කු ඉරුදින ප්‍රහාරයේ කම්පනය පහව යමින් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවාවන් සුපුරුදු  මට්ටමට ලඟා වෙමින් පවතී.

නමුත් ඊයේ (06) දින පාසල් ළමුන්ගේ පැමිණීමේ සැළකිය යුතු අඩුවක් දක්නට ලැබෙන බව පෙනී යන අතර බොහෝ දුරට අනියත බිය මෙම තත්ත්වයට හේතු වී ඇති බව පැහැදිලි බවද කථානායකවරයා පවසයි.

රට තුළ  ආරක්ෂක අංශ හා බුද්ධි අංශ තව දුරටත් ශක්තිමත් කරමින් අඛණ්ඩ ක්‍රියාවලියක් සිදු විය යුතු අතර ඉදිරි අභියෝග සඳහා ප්‍රාණවත් සමාජයක් ලෙස ශක්තිමත්ව මුහුණ දිය යුතුව තිබේ.

එසේ හෙයින් ආරක්ෂක අංශ කෙරෙහි පූර්ණ විශ්වාසය තබමින් එදිනෙදා කටයුතු යථාපරිදි ඉටු කිරීම රටේ ආර්ථිකයට, සුරක්ෂිතභාවයට මෙන්ම සිසු දරුවන්ගේ අධ්‍යාපනයටද, අතිශයින් වැදගත් බවද කථානායක කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම විශ්වාසය තහවුරු කරනු වස්  සමාජය කළඹවන සුළු කටකතා සහ වෙනත් අසත්‍ය ප්‍රචාර යටපත්කොට සත්‍ය දැනගැනීම සඳහා ආරක්ෂක ලේකම්වරයා ඇතුළු අනෙකුත් ආරක්ෂක අංශ ප්‍රධානීන් විසින් සෘජුවම වගකීම දරන තොරතුරු අනාවරණයක් නිතිපතාම සිදුවිය යුතු බව අවධාරණය කරයි.

විශේෂයෙන්ම පොලිස් දෙපාර්තමේන්තුව ලෝකයේ පිළිගත් සම්ප්‍රදාය අනුව ඊට අදාළ නිත්‍ය රේඛීය අමාත්‍යංශයක් යටතට පත්කීරිම තුළින් වඩාත් වගකිවයුතු තත්වයකට පත්කළ හැකි බවද බොහෝදෙනාගේ විශ්වාසයයි.

එමෙන්ම රජයක් ලෙස තීරණාත්මක කරුණුවලට අදාළව ජනාධිපතිතුමන්, සහ අගමැතිතුමන් එකඟත්වයෙන් යුක්තව ඒකාබද්ධ ප්‍රකාශ නිකුත්කිරිම ජනතාව තුළ ඇති අවිනිශ්චිතභාවය දුරලීමට මහෝපකාරී වනු ඇත.

ගෙවීගිය සති දෙක තුළ තසන්ට හමුවූ සර්ව ආගමික නායකයන්, දේශීය ව්‍යාපාරික ප්‍රජාව, වෘත්තිකයන්, විවිධ මට්ටමේ ජන කණ්ඩායම් දක්වන ලද අදහස් පදනම් කරගනිමින් මෙම කරුණු පෙන්වා දෙනුයේ ඉතාමත්ම සද්භාවයෙන් බවද එතුමා සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

ගෙවුණු සති දෙක තුළ සෑම ආගමකම පූජ්‍ය ප්‍රසාදීන් වහන්සේලා  වි‍ශේෂයෙන්ම අගරදගුරුතුමන් ප්‍රධාන කතෝලික ආගමික නායකයන් ආත්ම සංගමයෙන් හා වගකීමෙන් යුක්තව කටයුතු කළ ආකාරය ආදර්ශයට ගනිමින් පටු වාදභේද පසෙකලා මාතෘභූමිය වෙනුවෙන් පොදු ජාතික න්‍යායපත්‍රයක පිහිටා කටයුතු කරන ලෙස සියලු දේශපාලන නායකයන්ගෙන් ආයාචනා කර ඇත

Read more

Local News