වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ගෝඨාට රට යන්න අවසර දෙයි

Share

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ මස 15 වනදා සිට 19 වනදා දක්වා කාලසීමාව තුළ විදේශ ගතවීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද අවසර ලබා දි තිබේ.

සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය කළේය.

මෙම නඩුව අද(07) කැඳවූ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඉල්ලීමක් ඉදිරිපත් කරමින් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා තම සේවාදායකයාට මේ මස 15 වනදා සිට 19 වනදා දක්වා කාලසීමාව තුළ සිංගප්පූරුවට යාමට අවශ්‍ය ඇති බව කියා සිටියේය.

ඒ සඳහා දැනට අධිකරණය මගින් තම සේවාදායකයා වෙත පණවා තිබෙන විදෙස් ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන නියෝගයක් නිකුත් කරන මෙන් ද ජනාධිපති නීතිඥ සබ්රි මහතා අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරු විසින් ඉල්ලා සිටින කාලසීමාව තුළ ඔහුට විදේශ ගත වීමට අවසර ලබාදුන් අතර දැනට අධිකරණය භාරයේ පවතින ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය තාවකාලිකව ඔහු වෙත මුදා හරින මෙන් ද නියම කළේය.

මෙම නඩුව ඉකුත්දා කැඳවූ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා හැර සෙසු වීත්තිකරුවන් කිහිපදෙනෙකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මූලික විරෝධතාවක් මතු කරමින් මෙම නඩුවේ චෝදනා එකතු කර තිබෙන ආකාරය නීතියට පටහැනි බව සඳහන් කරමින් මූලික විරෝධතාවක් මතු කර තිබුණි.

ඒ අනුව අදාළ අධිචෝදනා පත්‍රය ප්‍රතික්ෂේප කොට විත්තිකරුවන් නිදහස් කරන ලෙසයි සිය මූලික විරෝධතාව තුළින් අධිකරණයෙන් ඉල්ලා තිබුණේය.

එහෙත් එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කළ ත්‍රිපුද්ගල ාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කර සිටියේ මෙම විරෝධතා පිළිබඳව කරුණු සලකා බැලිය හැකි සාක්ෂි විභාගයේ දී පමණක් බවයි.

ඒ අනුව අදාළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරන බවද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කළේය.

මෙහිදී විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් ඊයේ දින අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නඩුවේ විභාගය ලබන 17 වනදා දක්වා සිදු නොකිරීමට නීතිපතිවරයා එහිදී එකඟතාවය පළ කළ බව කියා සිටියේය.

එය අනුමත කරමින් කරුණු දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අභියාචනාධිකරණය කළ යෝජනාවකට අනුව ලබන 17 වනදා දක්වා මෙම නඩුවේ විභාගය ආරම්භ නොකිරීමට නීතිපතිවරයා එකඟ වූ බවත් මෙම නඩුවේ විභාගය අත්හිටුවමින් අභියාචනාධිකරණය මගින් කිසිදු තහනම් නියෝගයක් නිකුත් කර නොමැති බවත් කියා සිටියේය.

ඒ අනුව ඩුවේ විභාගය ලබන 20 වනදා දක්වා කල් තැබීමටයි ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියම කළේය.

ඉන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණය හමුවේ තවත් ඉල්ලීමක් කරමින් වර්තමානයේ රට තුළ නිර්මාණය වී ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන තම සේවාදායකයාට දැඩි ජීවිත තර්ජන එල්ල වී තිබෙන බවත් එබැවින් මෙම අධිකරණයේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා ඇතුළු අදාළ අංශ වෙත කරුණු ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව කියා සිටියේය.

මෙහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කියා සිටියේ අධිකරණයේ ආරක්ෂාව සම්බන්ධයෙන් තමන්ගේ ගැටලුවක් නොමැති වුවත් සාක්ෂිකරුවන්ට නිරවුල් මානසිකත්වයකින් පැමිණ සාක්ෂි දීමට ඉඩක් තිබිය යුතු බව ප්‍රකාශ කළේය.

මෙහිදී ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ තමා දන්නා පරිදි මෙම අධිකරණ සංකීර්ණයේ හොඳ ආරක්ෂක තත්වයක් පවතින බව ප්‍රකාශ කළේය.

අද පෙරවරුවේ ද මෙම අධිකරණ සංකීර්ණය ආරක්ෂක නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කළ බව කියා සිටි සභාපති විනිසුරුවරයා කෙසේ වෙතත් ආරක්ෂක ආයතන වල උපදෙස් පරිදි ආරක්ෂාව සම්බන්ධයෙන් තීන්දු ගැනීමට හැකියාව පවතින බව ප්‍රකාශ කළේය.

එහෙත් මෙම නඩුවේ සාක්ෂි දීම සඳහා පැමිණෙන සාක්ෂිකරුවන්ට නිරවුල් මනසකින් පැමිණ සාක්ෂි දීමට ඉඩක් තිබිය යුතු බවද සභාපති විනිසුරුවරයා අවධාරණය කර සිටියේය.

කෙසේ වෙතත් මෙම අධිකරණ සංකීර්ණය ආරක්ෂාව පිළිබඳ වගකීම වර්තමානයේ එය සිදුකරන නිලධාරීන් විසින් දැරිය යුතු බවටද සම්පත් අබේකෝන් විනිසුරුවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

ඉකුත් රජය සමයේ හම්බන්තොට මැදමුලන ප්‍රදේශයේ ඩී. ඒ .රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී රුපියල් මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ෂණ ද සිල්වා, එම සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය සාමාජිකයින් ඇතුළු හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබේ.

Read more

Local News