ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවේ හෝ ජීවිතක්ෂයට ?

Share

පාස්කු ඉරිදා ප්‍රහාරයට සෘජුව සම්බන්ධ සියලු දෙනා මේ වන විට අත්අඩංගුවට පත්ව හෝ සියදිවි හානිකරගෙන ඇතැයි වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පැවැසීය.

ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

“අප්‍රේල් 21 වැනිදා සිදුවූ ඒ අවාසනාවන්ත ත්‍රස්ත ප්‍රහාරයන් පසු ඉතා කෙටි කාලයකදී ශ්‍රී ලංකා පොලීසියට හැකියාවක් ලැබුණා ඒ ප්‍රහාර සඳහා සහභාගිවූ සියලු දෙනා හඳුනා ගැනීමටත් ඒ සියලු දෙනා වගේ අත්අඩගුවට ගැනීමටත්.

බොහෝ දෙනෙක් ඒ අවස්ථාවේදී සියදිවි හානි කර ගත්තා. ඒ කණ්ඩායමේ බෝම්බ පිළබඳ විශේෂඥයින් දෙන්නෙක් හිටියා. ඒ දෙන්නම මේ වන විට ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මේ ප්‍රහාරයට සහභාගී වූ පිරිස් අනාගතයේදී ප්‍රහාර එල්ල කිරීම සඳහා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සඟවා තිබුණා ඒ සියලු පුපුරණ ද්‍රව්‍ය මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ඒ අනුව පොලීසියට පැහැදිලි ලෙස දැනුම් දෙන්න පුළුවන් මේ ප්‍රහාර සඳහා සහභාගී වූ සියලු දෙනාම හඳුනාගෙන තිබෙනවා වගේම සෘජුව සම්බන්ධ සියලු දෙනාම අත්අඩංගුවට පත්ව තිබෙනවා එසේ නොමැතිනම් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එසේම සියලුම පුපුරණ ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජන ජීවිතය දැන් සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් යනවා. ඒකට උදාහරණයක් ලෙස දැන් දෙන්න පුළුවන් අපි ඇඳිරි නීතිය ඉවත් කර තිබෙනවා.

ඉස්ලාම් හා කතෝලික ජනතාවගේ ආගමික කටයුතු බොහෝ පළාත්වල සාමකාමී තත්ත්වයට පත්වෙමින් යනවා. මෑතකදී අපි මහජනතාව සමග එක්වී ආරක්ෂාව තහවුරු කිරීමට පොදු ආරක්ෂක සැලසුමක් සකස් කරනවා.

සමාජ ජාලා මාධ්‍ය තුළින් තහවුරු නොකළ තොරතුරු පැතිර යනවා. තහවුරු නොකළ තොරතුරු සම්බන්ධයෙන් විශ්වාසය තබා කටයුතු කරන්න එපා. ආරක්ෂක හමුදා හෝ පොලීසිය සමග සම්බන්ධ වී තහවුරු කර ගන්න.”

Read more

Local News