ලොව පුරා රටවල් ගණනාවක් අගමැතිට සොව පළ කරයි

Share

පාස්කු ඉරිදා (21) ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකිමින් හා ඒ පිළිබඳ ශ්‍රී ලංකාවාසී ජනතාව වෙත ශෝකය පළ කරමින් ලොව පුරා රටවල් ගණනාවකින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පණිවුඩ ලැබී ඇත.

මැලේසියානු අග්‍රාමාත්‍ය ආචාර්ය මහතීර් බින් මොහමඩ් (Hon. Dr. Mahathir Bin Mohamad) මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පණිවුඩයක් එවමින් සඳහන් කර සිටින්නේ ශ්‍රී ලංකා රජය හා ජනතාව වෙත මැලේසියානු රජයේ සහ ජනතාවගේ බලවත් ශෝකය ප්‍රකාශ කරන බවය.

ශ්‍රී ලංකාව සමඟ එක්ව නැගී සිටින බවත් මැලේසියානු අග්‍රාමාත්‍යවරයා එම පණිවුඩයේ වැඩිදුරටත් පවසා ඇත.

ශ්‍රී ලංකාවට එල්ල වූ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරය පිළිබද බලවත් කම්පනයට හා කණගාටුවට පත්වන බව තායිලන්ත අග්‍රාමාත්‍ය ජෙනරාල් ප්‍රයුත් චන් ඕ චා (Hon. General Prayut Chan-O-Cha) මහතා ද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ශෝක පණිවුඩයක් මගින් දන්වා තිබේ.

විපතට පත්වූවන්ගේ පවුල් වෙත ශෝකය පළ කරන රාජකීය තායිලන්ත රජය, ශ්‍රී ලංකාව සමග එක්ව සිටින බවත් ම්ලේච්ජ ත්‍රස්ත ප්‍රහාර තරයේ හෙළා දකින බවත් අවධාරණය කරයි.

අහිංසක ජීවිත රැසක් බිළි ගත් රුදුරු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බලවත් කම්පනයට හා කණගාටුවට පත් වූ බව මියන්මාර අග්‍රාමාත්‍ය අවුන් සාන් සුකී (Hon. Aung San suu Kyi)  මහත්මිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත එවූ පණිවුඩයෙන් දන්වා සිටී.

විපතට පත්වූවන්ගේ පවුල් වෙත සිය ශෝකය පළ කරන ඇය, තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර සිටී.

සියලූ ආකාරයේ ත්‍රස්ත ප්‍රහාර දැඩිව හෙළා දකින බවත්, මෙම අසීරු අවස්ථාවේ මියන්මාර රජය සහ ජනතාව, ශ්‍රී ලංකාව සමඟ එක්ව සිටින බවත් අවුන් සාන් සුකී අග්‍රාමාත්‍යවරිය සිය පණිවුඩය මගින් අවධාරණය කර සිටී.

ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිමින් වියට්නාමයේ අග්‍රාමාත්‍ය ගුයෙන් ෂුඑන් ෆුක් (Hon. Nguyen Xuan Phuc) මහතා එවූ ශෝක පණිවුඩය මගින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා තිබේ.
විපතට පත්වූවන් පිළිබඳ ශෝකය පළ කරන හෙතෙම තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනු ලැබ ඇත.

පාස්කු ඉරුදින ශ්‍රී ලංකාවේ සිදු වූ දරුණු විපත පිළිබද ලාඕස රජය සහ ජනතාව වෙනුවෙන් බලවත් කණගාටුව ප්‍රකාශ කරමින් ලාඕසයේ අග්‍රාමාත්‍ය ආචාර්ය තොන්ග්ලූ සිසුලිත් (Hon. Dr. Thongloun Sisoulith) මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ශෝක පණිවුඩයක් යොමු කර ඇත.

සියලූ ආකාරයේ ත්‍රස්ත ප්‍රහාර තරයේ හෙළා දකින බවත්, ලෝකයේ සහ අප කලාපයේ ත්‍රස්තවාදයට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව සමග නැගී සිටින බව ද එම ශෝක පණිවුඩය මගින් ඒ මහතා වැඩිදුරටත් දන්වා ඇත.

ශ්‍රී ලංකාවේ දේවස්ථාන සහ හෝටල් කිහිපයක් වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර ඇතුළු සියලූ ආකාරයේ ත්‍රස්ත ප්‍රහාර දැඩි ලෙස හෙළා දකින බව බහරේන් රාජ්‍යයේ අග්‍රාමාත්‍ය කලීෆා බින් සල්මන් අල් කලීෆා (Hon. Khalifa bin Salman Al Khalifa) මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ශෝක පණිවුඩයක් මගින් දන්වා සිටී.

විපතට පත්වූවන්ගේ පවුල් වෙත සහ සමස්ත මිත්‍රශීලි ශ්‍රී ලාංකිකයන් වෙත හෙතෙම කණගාටුව පළ කරයි.

ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් විපතට පත්වූවන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත බලවත් කණගාටුව පළ කරන බව කටාර් රාජ්‍යයේ අග්‍රාමාත්‍ය සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා වන අබ්දුල්ලා බින් නසීර් බින් කලීෆා අල්-තානී (Hon. Abdullah Bin Nasser Bin Khalifa Al Thani)  මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ශෝක පණිවුඩයක් යොමු කරමින් දන්වා තිබේ.

ස්කොට්ලන්තයේ අග්‍රාමාත්‍යවරිය වන නිකොලා ස්ටර්ජන් (Hon. Nicola Sturgeon) මහත්මිය ද, ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් විපතට පත්වූවන් පිළිබඳ ශෝකය පළ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ශෝක පණිවුඩයක් යොමු කර ඇත.

අදුරු සහ අසීරු අවස්ථාවකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව සමග ස්කොට්ලන්ත රජය ප්‍රමුඛ ජනතාව එකට එක්ව සිටින බව එහි වැඩිදුරටත් සඳහන් වෙයි.

පාස්කු ඉරුදින දේවස්ථාන සහ හෝටල් ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාවට එල්ල වූ දරුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිත අහිමිවූවන් පිළිබඳ කණගාටුව ප්‍රකාශ කරන අතර තුවාල ලැබූවන්ට ඉක්මන්  සුවය ප්‍රාර්ථනා කරමින් ජෝර්ජියා අග්‍රාමාත්‍ය මාමුකා බක්ටඩ්සේ (Hon. Mamuka Bakhtadse) මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ශෝක පණිවුඩයක් යොමු කර ඇත.

ම්ලේච්ඡ ත්‍රස්තවාදී ක්‍රියා දැඩි ලෙස හෙළා දකින බව පවසන හෙතෙම සමස්ත පෝර්ජියා ජනතාව ශ්‍රී ලංකාව සමඟ නැගී සිටින බව ද සඳහන් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ටියුනීසියානු ජනාධිපති අතිගරු බෙජී කයිඩ් එස්සෙබ්සි (H.E. Mr. Beji Caid Essebsi) මහතා ද ශෝක පණිවුඩයක් එවමින් සිය පුරවැසියන්ගේ හෘදයාංගම සංවේගය ශ්‍රී ලාංකික ජනතාව වෙත දක්වා ඇති අතර, එමගින් දෙරට අතර මිත්‍රත්වය තවදුරටත් තහවුරු වන බව දක්වා ඇත.

සාමකාමී සහජීවනය හා සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ලෝක සාමය සහ ආරක්‍ෂාව වෙත පවතින තර්ජනය මඟහරවා ගැනීම පිණිස ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට එක් වන මෙන් ලෝක ප්‍රජාවගෙන් නැවතත් ඉල්ලා සිටින බව ද ඒ මහතා සිය පණිවුඩයෙන් දන්වා ඇත.

පාස්කු ඉරුදින ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි දේවස්ථාන සහ ප්‍රධාන හෝටල් කිහිපයක් ඉලක්ක කරගෙන එල්ල වුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ජීවිත හානි වූ සහ තුවාල ලැබූ අහිංසක වැසියන් හා ඔවුන්ගේ පවුල් වෙත සිය කණගාටුව පළ කරමින් ද, එම අධම ත්‍රස්ත ක්‍රියාව හෙළා දකිමින් ද වෙනිසියුලා ජනරජයේ ජනාධිපති ජුවාන් ග්වයිඩෝ (H.E. Juan Guaido) මහතා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ශෝක පණිවුඩයක් එවා ඇත.

ලෝකවාසී ජනතාව අතර වර්ධනය වන සහෝදරත්වය සහ සබැදියාවට එල්ල වූ මරු පහරක් ලෙස එම සිද්ධිය අර්ථකථනය කරන ග්වයිඩෝ ජනාධිපතිවරයා, මානව හිමිකම් විශ්ව ප්‍රකාශයට අනුව සෑම පුද්ගලයෙකුටම තම ආගම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට ඇති අයිතිය සුරැකීම උදෙසා තමන් සමස්ත වෙනිසියුලා ප්‍රජාව වෙනුවෙන් ප්‍රති ඥා දෙන බව එම පණිවුඩයෙන් පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ බලවත් කණගාටුව ප්‍රකාශ කරමින් උතුරු ඉන්දීය සයිනොඩ් (Synod) දේවස්ථානයේ දේවගැතිවරුන්ගේ සභාපති ආචාර්ය පී.සී. සිං මහතා විසින් ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ශෝක පණිවුඩයක් එවා තිබේ.

මෙම අවස්ථාවේ සියලූ ශ්‍රී ලාංකිකයන් සාමකාමීව එකමුතුව කටයුතු කරනු ඇතැයි තම අපේක්‍ෂාව බව ද හෙතෙම එහි වැඩිදුරටත් සඳහන් කරයි.

අහිංසක ජනතාව ඉලක්ක කර ශ්‍රී ලංකාවට එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාර තරයේ හෙළා දකින බව ඉන්දියාවේ අලිගාර් මුස්ලිම් විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය ශෝක පණිවුඩයක් මගින් දන්වා සිටී.

මෙය මනුෂ්‍ය සංහතියටම එල්ල වූ ප්‍රහාරයක් මෙන්ම, මිනිස් ධර්මතාවයන්ට පටහැනි ක්‍රියාවක් වන අතරම, එය සිදු කළ අපරාධකරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකාවේ ආරක්‍ෂාව තහවුරු කළ යුතු බව ද එම සංගමය වෙනුවෙන් එහි සභාපති මහාචාර්ය හමීඩ් අලි (Mr. Hamid Ali)  මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත එවූ ශෝක පණිවුඩයේ සඳහන් කර තිබේ.

200 කට අධික අහිංසක සිවිල් ජනතාවට දිවි අහිමි කළ ත්‍රස්ත ප්‍රහාරය තරයේ හෙළා දකින බව නවදිල්හි ජනප්‍රිය පෙරමුණේ සභාපති ඊ අබුබකර් (Mr. E. Abubacker) මහතා ශෝක පණිවුඩයක් මගින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත දන්වා තිබේ.

ශ්‍රී ලාංකිකයන්ගේ ශෝකය සහ වේදනාව එක්ව බෙදාගන්නා බවත් විපතට පත්වූවන්ට මෙම අවස්ථාවේ දේශීය සහ විදේශීය වශයෙන් සහයෝගය ලබාදීම අත්‍යවශ්‍ය බවත් එම ශෝක පණිවුඩයේ සඳහන් වෙයි.

අහිංසක ශ්‍රී ලාංකික ජනතාව ඉලක්ක කරගත් අමානුෂික ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකිමින් ඉන්දීය රාජ්‍යතාන්ත්‍රික බලකාය ද, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය වෙත ශෝක පණිවුඩයක් එවා ඇත.

ශ්‍රී ලංකාව තුළ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා දැඩි ලෙස හෙළා දකින බව එක්සත් රාජධානියේ ෂෙෆිල්ඩ්හී  (Sheffield-UK) නගරාධිපති මජිඩ් මජිඩ් (Mr. Magid Magid) මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ශෝක පණිවුඩයක් මගින් දන්වා සිටී.

ලොව පුරා ජනතාව කම්පනයට හා ශෝකයට පත් කරමින් සිදු වූ මෙම ඛේදවාචකයෙන් මිය ගිය හා තුවාල ලැබූ සැමගේ පවුල් වෙත ෂෙෆිල්ඩ්හි ජනතාව වෙනුවෙන් ශෝකය පළ කරන බව හෙතෙම සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ සිදුවූ බිහිසුණු ප්‍රහාරය පිළිබඳ බලවත් කණගාටුව ප්‍රකාශ කරන බව එක්සත් රාජධානියේ තේම්ස් ප්‍රාන්තයේ නගරාධිපති තායි තායලන් (Mr. Thay Thayalan) මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත එවූ ශෝක පණිවුඩයේ සඳහන් වෙයි.

මෙම දුෂ්කර සහ ශෝකාකඣල අවස්ථාවට මුහුණදීම ශ්‍රී ලංකාවාසීන්ට ධෛර්ය ලැබෙනු ඇති බව ද එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ශෝක පණිවුඩයක් යොමු කරමින් ජපානයේ මැබාෂී (Maebashi) නගරාධිපති රූ යමමොටෝ (Mr. Ryu Yamamoto) මහතා වැඩිදුරටත් පවසනුයේ තම නගරය 2020 ඔලිම්පික් සත්කාරක නගරයක් වශයෙන් ශ්‍රී ලංකාවට උපකාර කිරීමට ලැබීම සතුටක් ලෙස සලකන බවයි.

ශ්‍රී ලංකාවට එල්ල වූ දරුණු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බලවත් කණගාටුව ප්‍රකාශ කරන බව සිරියානු කොන්සල් ජනරාල් කාර්යාලයේ කොන්සල්වරයා වන මුස්සල්ලම් අල් ඩෲබි (Mr. Maussalam Al Droubi) මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සිය කණගාටුව පළ කර සිටී.

සිරියානු අප ත්‍රස්තවාදයේ වේදනාව හොදින් හඳුනන බවත් සියලූ ආකාරයේ ත්‍රස්ත ක්‍රියාවන්ට එරෙහිව ශ්‍රී ලංකාව සමග නැගී සිටින බවත් එහි සඳහන් වෙයි.

පාස්කු දේව මෙහෙයන් අතරතුර එල්ල වුණු අමානුෂික හා බියගුළු ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් විපතට හා කම්පනයට පත්ව සිටින ශ්‍රී ලාංකික ජනතාව වෙත සිය සංවේගය පළ කරමින් ෆිජි ජනරජ ආණ්ඩුව සහ එහි මහකොමසාරිස් කාර්යාලය වෙනුවෙන් නවදිල්ලියේ ෆිජී මහකොමසාරිස් යෝගේෂ් පන්ජා මහතා ශෝක පණිවුඩයක් මගින් දන්වා එවා ඇත.

බියගුළු හා අමානුෂික ත්‍රස්ත ප්‍රහාරවලින් අපගේ ශිෂ්ඨාචාරය පදනම්ව ඇති වටිනාකම් විනාශ කරමින්, මිනිස් ජීවිත බිලිගැනීමට මානබලන, එමෙන්ම කිසිඳු බියකින් සැකයකින් තොරව අදහස් ප්‍රකාශ කිරීමටත්, ජීවත් වීමටත් පුද්ගලයෙකු සතු අයිතිවාසිකම අහුරා දමන ත්‍රස්තවාදී බලවේගවලට එරෙහිව ඉතා ඉක්මන් පියවර ගැනීමට තමන් ශ්‍රී ලංකාව සමග තිර අදිටනින් යුතුව කටයුතු කරන බව ඒ මහතා එහි වැඩිදුරටත් දන්වා ඇත.

ශ්‍රී ලංකාවේ කොළඹ, මීගමුව සහ මඩකලපුව යන නගරවල හෝටල් සහ ක්‍රිස්තියානි පල්ලි ආශ්‍රිතව ඇතිවූ අනපේක්‍ෂිත හා බිහිසුණු සිද්ධීන්වලින් විපතට පත් ජනතාවගේ පවුල් වෙතත් සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාව ඇතුළු රජය වෙතත් නවදිල්ලියේ පිහිටි කොංගෝ ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ මහකොමසාරිස් කාර්යාලීය ශෝකය පළ කරමින් තවත් ශෝක පණිවුඩයක් අග්‍රාමාත්‍යවරයා වෙත එවා ඇති අතර නවදිල්ලියේ පිහිටි කිර්ගීස් ජනරජ මහකොමසාරිස් කාර්යාලයත් කිර්ගීස් ජනරජය නියෝජනය කරමින් කිර්ගීස් විදේශ කටයුතු අමාත්‍යංශයත් සිද්ධියෙන් විපතට පත් ශ්‍රී ලාංකික ජනතාව වෙත කිර්ගීස් ජනතාවගේ හෘදයාංගම සංවේගය පළ කිරීමට කටයුතු යොදා ඇත.

තම රට ත්‍රස්තවාදය දැඩි ලෙස හෙළා දකින බවත් දැඩි ප්‍රතිචාර දක්වමින් මෙවන් ත්‍රස්ත ක්‍රියා මැඩපැවැත්විය යුතු බවත් කිර්ගිස්ථාන් විදේශ කටයුතු අමාත්‍ය චිංගීස් ආයිඩර්බෙකෝව් (H.E. Chingiz Aidarbekov) මහතා සිය ශෝක පණිවුඩයේ දක්වා ඇත.

අති විශාල ජීවිත මෙන්ම දේපොළ හානියක් සිදු කළ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකි බව පවසමින් ලැට්වියා ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය එඩ්ගාර්ස් රින්කේවික්ස් (Hon. Edgars Rinkevics)  මහතා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය වෙත ශෝක පණිවුඩයක් එවමින් දන්වා සිටී.

පවුලේ සාමාජිකයින් හා හිතවතුන් අහිමිවූ පවුල්වලට මෙම ශෝකාකූල අවස්ථාවේ ශක්තියත්, ධෛර්යයත් ප්‍රාර්ථනා කරන ඒ මහතා සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවට මෙම අසීරු අවස්ථාවේ එක්ව නැගී සිටීමට අවශ්‍ය සමගිය හා එකමුතු බවද ප්‍රාර්ථනා කර සිටී.

නව දිල්ලි හි පිහිටි උතුරු මැසිඩෝනියානු ජනරජයේ මහකොමසාරිස් කාර්යාලය ද සිද්ධිය සම්බන්ධයෙන් සිය ශෝකය පළ කර සිටී.

උතුරු මැසිඩෝනියානු ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය නිකොලා දිමිත්‍රෝව් (Hon. Nikola Dimithrov) මහතා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත එවා ඇති ශෝක පණිවුඩයෙන් උතුරු මැසිඩෝනියානු ජනරජය ත්‍රස්තවාදය තරයේ හෙළා දකින බවත් ශ්‍රී ලාංකික සහෝදර ජනතාව වෙත සිය මිත්‍රත්වයේ දෑත් දිගුකරන බවත් දන්වා සිටී.

මෙවැනි බිහිසුණු ක්‍රියාකාරකම් ඔස්සේ සිදුවන්නේ ජාත්‍යන්තර ප්‍රජාව එකට එක්වී සියලූ ආකාරයේ ත්‍රස්තවාදී ක්‍රියා හා දේශපාලන අන්තවාදයන් මැඩ පැවැත්වීමට තමන් දක්වන කැපවීම තව තවත් ශක්තිමත්වීම බව ඒ මහතා පැහැදිලිව දක්වා ඇත.

නිදහස සහතික කරනු ලැබූ අප මාතෘ භඣමියට එල්ලවූ අන්තවාදී ප්‍රහාර තමන් තරයේ හෙළා දකින බව හා එම ප්‍රහාරවලට ලක්වූ දෙස් විදෙස් අහිංසක ජනතාවගේ පවුල් වෙත කණගාටුව ප්‍රකාශ කරමින් නවසීලන්තයේ එක්සත් ශ්‍රී ලංකා සංගමයේ ඕක්ලන්ඩ් ශාඛාව (United Sri Lanka Association Auckland Branch) වෙනුවෙන් එහි සභාපති රොෂාන් මනම්පේරි මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ශෝක පණිවුඩයක් යොමු කර තිබේ.

මෙම අවස්ථාවේ රට වෙනුවෙන් කඩිනමින් ක්‍රියා කරන පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදාවටත්, රෝහල් කාර්ය මණ්ඩලවලටත් සිය සංගමය කෘතඥතාව පළ කරන බව එමගින් දන්වා තිබේ.

ශ්‍රී ලංකාවට එල්ල වූ කුරිරු ප්‍රහාර පිළිබඳ තමා දැඩි ලෙස කම්පාවට පත් වන බවත්, ඒ පිළිබඳ තමා බලවත් ශෝකය පළකරන බවත් නිව්යෝක් හි පිහිටි ද හවුස් ඔෆ් රාම්ජිත් (The House of Ramjit)  සංවිධානයේ උප සභාපති හා ජාත්‍යන්තර සබදතා පිළිබඳ අධ්‍යක්‍ෂ රූපේෂ් රාම්ජිත් (Mr. Roopesh Ramjit) මහතා ශෝක පණිවුඩයක් මගින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත දන්වා සිටි.

දරුණු ප්‍රහාර හේතුවෙන් විපතට පත් ශ්‍රී ලාංකිකයන් පිළිබඳ දැඩි ලෙස කණගාටුව ප්‍රකාශ කරමින් එක්සත් රාජධානියට අනුබද්ධිත බියගම පිහිටි ඩිලරූ ලංකා (De La Rue) ආයතනයේ සමස්ථ කාර්ය මණ්ඩලය වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී මාර්ටින් සදර්ලන්ඩ් (Mr. Martin Sutherland) මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ශෝක පණිවුඩයක් යොමු කර තිබේ.

ශ්‍රී ලංකාව පසුගිය ඉරුදින මුහුණදුන් අවාසනාවන්ත ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් විපතට පත් ජනතාව ප්‍රමුඛ සමස්ත ශ්‍රී ලාංකික පුරවැසියන් වෙනුවෙන් මෝල්ටා ජනරජයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම සාමාජිකයින් ප්‍රමුඛ මෝල්ටා ජනරජයේ ශෝකය පළ කරමින් එම පාර්ලිමේන්තුවේ කථානායක ආන්ජෙලෝ ෆරුජියා (Hon. Angelo Farrugia) මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකතුමා වෙත ශෝක පණිවුඩයක් එවා ඇත.

Read more

Local News