හිටපු ආරක්ෂක ලේකම්ට හා පොලිස්පතිට එරෙහි පෙත්සම සලකා බැලීම 21වැනිදා

Share

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් කොළඹ හා මඩකලපුව ප්‍රදේශයේ පිහිටි කිතුනු දේවස්ථාන හා තරු පන්තියේ හෝටල්වලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මැඩ පැවැත්වීමට අපොහොසත්වීම තුළින් පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම් මහජනතාවගේ මූලික අයිතීන් කඩ කර ඇතැයි චෝදනා කරමින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම ලබන 21ක් වන දා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස එහි වග උත්තරකාරුවන් ලෙස නම් කර සිටින  පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරු වෙත නොතීසිය යැවීමට  පියවර ගන්නා ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පාර්ශවය නීතිඥවරයාට නියම කළේය.

ප්‍රසන්න ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණි අමරසේකර යන මහත්මීන් ගෙන් සමන්විත ව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව කැඳවනු ලැබීය.

මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ වැල්ලම්පිටිය, වෙන්නවත්ත ප්‍රදේශයේ පදිංචි සමන් නන්දන සිරිමාන්න නමැති පියෙකු විසින්.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු,  විශේෂ විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක සහ නීතිපතිවරයා නම් කර තිබුණි.

මෙම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී  නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ වරයා අධිකරණයට දන්වා සිටියේ මෙහි පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට පෙනී සිටීමක් නොකරන බවයි.

ඒ අනුව වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙත නැවත නොතිසි නිකුත් කරන මෙන් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන 21 වනදා කැඳවීමට ද නියම කළේය.

පෙත්සම්කරුවෝ කියා සිටින්නේ ඉකුත් 21 වනදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය තුළ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය තුළින් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ආශිර්වාදය ලබාගැනීම සඳහා එම දේවස්ථානයට ගොස් සිටි තම දියණිය සහ පූත්‍රයා මිය ගිය බවයි.

මෙම ප්‍රහාරය පිළිබඳව බුද්ධි අංශය විසින් පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක බලධාරීන්ට කලින්ම දැනුවත් කර තිබූ බව පෙන්වා දෙන පෙත්සම්කරු ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කැර තිබිණේ නම් මෙවැනි විනාශයන් වළක්වා ගැනීමට ඉඩ තිබූ බවද කියා සිටියේය.

එසේ තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් වග උත්තරකරුවන් දණ්ඩ නිති සංග්‍රහය මෙන්ම අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා  සිදුකර ඇති බව පෙත්සම්කරු පෙන්වා දෙයි.

වග උත්තරකාරුවනගේ ක්‍රියාකලාපය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

වග උත්තරකරුවන්ගේ නොසැලකිලිමත් ක්‍රියා කලාපය හේතුවෙන් සිදූවූ මනූෂ්‍ය ඝාතන හා තුවාල කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් වග කිවයුතු පොලිස්පතිවරයාට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පවරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන මෙන් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

Read more

Local News