නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී නිශාන්ත උළුගෙතැන්න

Share

නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා පත්කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.

පසුගිය මැයි 04 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්කිරිම් සිදුකර ඇති අතර නාවික හමුදාපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් අදාළ පත්වීමේ ලිපිය රියර් අද්මිරාල් උළුගේතැන්න වෙත නිල වශයෙන් ප්‍රදානය කරන ලදී.

රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඔහු 1985 වර්ෂයේ 13 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා විධායක අංශයට එක් විය.

මූලික පුහුණුව සාර්ථක ලෙස අවසන් කර 1987 වසරේ ජනවාරි මස 05 වන දින උප ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත් වන ඔහු, සිය තාක්‍ෂණික උප ලුතිනන් පාඨමාලාව 1988 දී ඉන්දියාවේ හදාරා ඇත. එතැන් සිට ක්‍රමාණුකූලව උසස් වීම් ලබමින් 2015 වර්ෂයේ ජුනි මස 01 වන දින ඔහු රියර් අද්මිරාල් නිලයට උසස් වී ඇත.

ඔහුගේ සේවා කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රා, ගොඩබැසීමේ යාත්‍රා (Landing Craft) වේග ප්‍රහාරක මුර යාත්‍රා සහ නෞකාවන්හි අණදෙන නිලධාරී වශයෙන් රාජකාරී සිදු කොට ඇත. එසේම නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික (ව්‍යාපෘති හා සැලසුම්), 4 වන වේග ප්‍රහාරක මුර යාත්‍රා සමුහයේ අණදෙන නිලධාරි, අධ්‍යක්‍ෂ නාවික අවි, අධ්‍යක්‍ෂ නාවික බුද්ධි, උතුරු විධානය භාර නියෝජ්‍ය ආඥාපති, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා, දකුණු නාවික විධානය භාර ආඥාපති සහ ස්වේච්ජා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් රාජකාරී සිදු කරන ලදි.

එමෙන්ම, රියර් අද්මිරාල් උළුගේතැන්න නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී විමට පෙර නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් කටයුතු කරන ලදී.

තවද, රියර් අද්මිරාල් උළුගේතැන්න අවස්ථා කිහිපයකදිම ඉන්දියාව, බිත්‍රාන්‍ය, ඊශ්‍රාලය සහ ඕස්ට්‍රේලියාව යන රටවල්වලදී උසස් නාවික පුහුණු පාඨමාලාවන් හදාරා ඇති අතර, අවි කටයුතු පිලිබද විශේෂඥයකු ලෙස සැලකෙන ඔහු ඒ සඳහා වැඩිදුර පුහුණුව ඉන්දියාවේ කොචී හි පිහිටි අවි පාසලෙන් හදාරා ඇත.

ඔහු මව්බිම වෙනුවෙන් ඉටු කළ මෙහෙවර වෙනුවෙන් රණශූර පදක්කම දෙවතාවක් දිනා ගැනීමට සමත්ව තිබේ.  ඔහු විසින් දිනාගෙන ඇති අනෙකුත් පදක්කම් අතර විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම සහ උත්තම සේවා පදක්කම ඇතුළුව පූර්ණ භූමි පදක්කම, ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දීර්ඝ පදක්කම, උතුරු නැගෙනහිර සංග්‍රාමික පදක්කම, රිවිරැස සංග්‍රාම සමූහ සේවා පදක්කම, 50 වන නිදහස් සැමරුම් පදක්කම, ශ්‍රී ලංකා නාවික හමුදා 50 වන සංවත්සර පදක්කම සහ උතුරු නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම් ද හිමි කර ගෙන ඇත.

Read more

Local News