ජනපතිට හා ආරක්ෂක ලේකම්ට වාහන ගන්න කෝටි 19ක්

Share

ආණ්ඩුවට අවශ්‍ය වාහන මිලදීගැනීම මෙන්ම වී මිලදී ගැනීම ඇතුළු ආණ්ඩුවේ වියදම් රාශියක් වෙනුවෙන් රුපියල් කෝටි  හත්සිය දොළහක අතිරේක මුදලක් ඉල්ලා   ආණ්ඩු පක්‍ෂයේ ප්‍රරධාන සංවිධායක ඇමති ගයන්ත කරුණාතිලක මහතා විසින් ඊයේ (07දා) පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක්  ඉදිරිපත් කරන ලදි.

ඒ අනුව ආරක්‍ෂක ලේකම්වරයාට වාහනයක් මිළදී ගැනීමට සහ ආරක්‍ෂක ඇමතිවරයාට ආරක්‍ෂක රථයක් මිළට ගැනීම සඳහා රුපියල් කෝටි දහ නවයක් ( කෝටි 19ක්), ආරක්‍ෂක අමාත්‍යාශයට බස් රථ 07ක්, ට්‍රක් රථ 06ක්, ගලි බවුසර් 02ක්, ජල බවුසර් 01ක් සහ ත්‍රිරෝද රථ 07ක් මිළදී ගැනීම සඳහා රුපියල්  දස කෝටි දස ලක්‍ෂයක් මෙම පරිපූරක ඇස්තමේන්තුව මගින් ඉල්ලා තිබේ.

බාල වයස්කාර වරදකරුවන් සහ වින්දිතයින් ප්‍රවාහනය කිරීම සඳහා ටොයෝටා හයිඑස් වෑන් රථ 05 ක් මිළට ගැනීම සඳහාද මෙම පරිපූරක ඇස්තමේන්තුව මගින් රුපියල් හාර කෝටි හැත්තෑ ලක්‍ෂයක මුදලක් ඉල්ලා ඇත.

ඊට අමතරව මහ කන්නයේ වී මිළදී ගැනීම සඳහා රුපියල් කෝටි දෙසිය අසූ අටක් (කෝටි 288ක්), සේනා දළඹුවාගෙන් වූ හානිවලට වන්දි ගෙවීම සඳහා රුපියල් කෝටි විසි හතරක් ( කෝටි 24ක්), ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට වන්දි ගෙවිම වෙනුවෙන් රුපියල් කෝටි පනහක් (කෝටි 50ක්) ලබා දෙන ලෙස පරිපූරක ඇස්තමේන්තුවෙන් ඉල්ලා ඇත.

මෙරට සාමය ගොඩනැගීම වෙනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට වැයවු රුපියල් දොළොස් ලක්‍ෂ අනූ දහසක්ද, ඒ වෙනුවෙන්  ජාතික පොලිස් කොමිෂන් සභාවට වැයවු රුපියල් දහ නව ලක්‍ෂ දස දහසක මුදලක්ද ඉල්ලා ඇත.

Read more

Local News