හිජාබය පැළඳි මුස්ලිම් ගුරුවරියන්ට අසාද් සාලි දුන් විසදුම මෙන්න

Share

පුවක්පිටියදෙමළ මහා විද්‍යාලයේ දෙමවුපියන් හා පාසල් සංවර්ධන සමිතියේ සාමාජිකයන් විසින් ප්‍රතික්‍ෂේප කර ආපසු හරවා යැවූ හිජාබය පැලඳි මුස්ලිම් ගුරුවරියන් දසදෙනෙකුට පළාතේ වෙනත් පාසල් ලබාදීමටපියවර ගත් බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.

පුවක්පිටිය දෙමළ මහා විද්‍යාලයට පසුගියදා උදෑසන පැමිණිමේදි මුස්ලිම් ගුරුවරියන්ට පාසලට ඇතුළු වීමට ඉඩ නොදී දෙමවුපියන් විසින් ගේට්ටුව වසා දමා තිබෙන බවත්,සාරියකින් සැරසී පැමිණෙන්නේ නම් පමණක් ඔවුන්ට පාසල් පරිශ්‍රයට ඇතුළු වීමට අවසර ලබාදිය හැකි බවට පාසල් සංවර්ධන සමිතියේ සාමාජිකයන් පවසා තිබෙන බවත් එම කාර්යාලය සඳහන් කරයි.

අනතුරුව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා හමුවීමට පැමිණි මෙම ගුරුවරියන් තමන් ප්‍රතික්‍ෂේප කළ පාසලට නැවතත් යෑමට නොහැකියැයි පැවසූ බවද බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය ප්‍රකාශ කරයි.

ගුරුවරියන්ගේ දුක්ගැනවිලිවලට ඇහුම්කන් දුන් ආණ්ඩුකාරවරයා  හදිසි රැස්වීමක් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් කැඳවූ බවත්,එම අවස්ථාවට පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ පී.ශ්‍රීලාල් නෝනිස්, පළාත් අධ්‍යාපන ලේකම් එස්.ජේ. විජයබන්දු,පුවක්පිටිය දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පති පී. මනෝහරන් යන මහත්වරුන් පැමිණ සිටි බවත් එම කාර්යාලය පවසයි.

එහිදි අසාද් සාලී මහතා සියලු පාර්ශ්වයන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ගුරුවරියන් දස දෙනා පළාතේ ඇති වෙනත් පාසල් සඳහා ස්ථාන මාරු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයට උපදෙස් ලබා දුන් බවද බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

Read more

Local News