මඩකලපුව විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට

Share

මඩකලපුව විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පවරා ගනිමින් එහි නීතිරීති අනුව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ ඊයේ (08) පෙරවරුවේ කල්මුණේ, සයින්දමර්දු ප්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක නිරත වෙමින් නැගෙනහිර පළාත් රාජ්‍ය නිලධාරින් සහ පළාතේ මුස්ලිම් තරුණ තරුණයන් හමු වෙමිනි.

එහිදී එම විශ්වවිද්‍යාලය මඟින් පවත්වාගෙන යනු ලබන විෂය මාලා පිළිබඳව පැහැදිලි තීරණයක් ගැනීමට නියමිත බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

මේ අතර, ම්ලේච්ඡ ත්‍රස්තවාදයට මාතෘභූමියේ කොතැනකවත් ඉඩ නොතබන අතර එය විනාශ කර දැමීමේ වගකීම නිසි ලෙස ඉටු කරනවා මෙන්ම රටේ කිසිදු ජන කොටසක් අපහසුතාවයට පත් නොවන අයුරින් කටයුතු කිරීමේ වගකීම රාජ්‍ය නායකයා ලෙස තමා ඉටුකරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

අන්තවාදී ත්‍රස්තවාදයට ඉඩ නොතබමින් සහ ඊට සපුරා විරුද්ධ වෙමින් ශ්‍රී ලංකා මාතෘ භූමිය වෙනුවෙන් වගකීම් ඉටුකරන ලෙස මෙහි දී තරුණ තරුණියන්ට පැවසූ ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, ඉස්ලාමීය ආගමික නායකයන්ගේ උපදෙස් හා මඟ පෙන්වීම අනුව මුස්ලිම් ජනතාවගේ ගැටලූ සඳහා ලබාදිය හැකි සියලූ විසදුම් ලබාදීමට කටයුතු කරන බවයි.

එම තරුණ තරුණියන් සමඟ සුහද කථා බහකට එක් වූ ජනාධිපතිවරයා ඔවුන්ගේ ඉල්ලීම්වලට ද සාවධානව ඇහුම්කන් දී තිබේ.

සයිනමරුදු ප්‍රදේශයට වෙනම ප්‍රාදේශීය සභාවක් ලබාගැනීම පිළිබඳ කළ ඉල්ලීම කෙරෙහි ද අවධානය යොමු කළ ජනාධිපතිවරයා ඒ පිළිබඳ අදාළ අංශ සමඟ සාකච්ඡා කරන බව පැවසීය.

මෙම හමුවෙන් අනතුරුව පසුගිය අප්‍රේල් 26 වනදා සයින්දමර්දු ප්‍රදේශයේ බෝම්බ පිපිරීම් සිදු වූ ස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා එම ස්ථානය ද නිරික්ෂණ කළේය.

Read more

Local News