විජයකලාගේ නඩුව සම්බන්ධයෙන් නීතිපතිට අධිකරණයෙන් සිහි කැඳවීමක්

Share

කොටි සංවිධානය යළි නඟාසිටුවිය යුතු යැයි ප්‍රකාශයක් කළ බව කියන ඇමතිනී විජයකලා මහේෂ්වරන් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අධිකරණය දැනුවත් කරන්නයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් අද(10) නීතිපතිවරයා වෙත සිහි කැඳවීමක් යොමු කළේය.

මෙම නඩුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය අධිකරණයට කරුණු දක්වමින් මෙම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ අවසන් කර වාර්තා සියල්ල නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවත් නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බව ද දන්වා සිටියේය.

මෙහිදී සෑකකාර විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ.වී. තවරාසා මහතා අධිකරණයට දන්වා සිටියේ වර්තමානයේ රට තුළ මතු වී තිබෙන නීතියේ කඩා වැටීම පිළිබඳව තම සේවාදායකයා ව සිය කතාව ඔස්සේ අදහස් පළ කර කිරීමට උත්සාහ කර ඇති බව පෙන්වා දුන්නේය.

ඒ තුළින් නීතිය උල්ලංඝනය වීමක් සිදු වී නොමැති බවත් ඇය නිදහස් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේය.

මෙහිදී මහේස්ත්‍රාත්වරිය නියම කළේ මෙම සැකකාරිය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග කුමක්ද යන්න පිළිබඳව අධිකරණය දැනුවත් කරන මෙන් දන්වා නීතිපතිවරයා වෙත සිහිකැඳවීමක් යොමු කරන බවයි.

අනතුරුව පැමිණිල්ල ජුලි මස 26 වනදා කැඳවීමට ද මහෙස්ත්‍රාත්වරිය නියම කළේය.

Read more

Local News