මහින්ද අගමැති කිරීමට එරෙහි පෙත්සම සලකා බැලීම ජුලි මසට කල්යයි

Share

ඉකුත් ඔක්තෝම්බර් මස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරෙන් ඉවත් කොට ඊට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ජුලි මස 11 වනදා දක්වා කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

පුජ්‍ය දඹර අමිල හිමියන් විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සම අද(10) ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ එස්. තුරේයිරාජා යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ එම පෙත්සම ජුලි මස 11 වනදා සලකා බලන බවයි.

පෙත්සම්කාර දඹර අමිල හිමියන් කියා සිටින්නේ ඉකුත් ඔක්තෝබර් මස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කොට ඊට මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින් ආණ්ඩුකම ව්‍යවස්ථාව 19 වන සංවත්සරයේ ප්‍රතිපාදන උල්ලංඝනය වන බවයි.

ආණ්ඩුකම ව්‍යවස්ථාව 19 වන සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට සෘජුව අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමට කිසිදු බලයක් නොමැති බව පෙත්සම්කාර දඹර අමිල හිමියන් කියා සිටියේය.

ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාකලාපය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික අයිතීන් කඩ වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කොට ඊට මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමේ තීරණය නීති විරෝධී බවට ප්‍රකාශයක් ලබාදෙන ලෙසත් පුජ්‍ය දඹර අමිල හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Read more

Local News