මේ රට සිංහල, බෞද්ධ රටක්

Share

ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගනිමින් ශ්‍රී ලාංකික ජාතියක් ලෙස එකමුතුවෙන් ක්‍රියා කළ යුතු බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කර සිටියි.

අමාත්‍යවරයා ඊයේ (09) පස්වරුවේ පාර්ලිමේන්තුව අමතමින් මෙම අදහස් ප්‍රකාශ කර සිටියේය.

තවදුරටත් පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා මෙසේද ප්‍රකාශ කර සිටියේය.

“මේ රට සිංහල, බෞද්ධ රටක්. අපේ කාදිනල්තුමාත් කිව්වේ මේ සිංහල බෞද්ධ රටක් වශයෙන් පිළි අරගෙන අපි සියළු දෙනාම ජීවත්විය යුතු බවයි.

ඒ තත්ත්වය තුළ කතෝලික, හින්දු, ඉස්ලාම් සියළු දෙනාම සමගියෙන් සිටිනවා. අන්තවාදීන් දෙතුන්දෙනෙක් නිසා තමයි මේ ගැටළුව ඇතිවෙලා තිබෙන්නේ.

අපි මුස්ලිම් ජනතාව ආරක්ෂා කළ යුතුයි. බෞද්ධයෝ ආරක්ෂා කළ යුතුයි. ඒ වගේ ම කතෝලික,  හින්දු අය ආරක්ෂා කළ යුතුයි. අපේ කාදිනල්තුමා මුල් වෙලා මේ ප්‍රශ්නයට මුහුණදෙන ආකාරය මුළු රටම සතුටින් බලාගෙන සිටිනවා.

නිදහස ලබාගෙන ගෙවුණ අවුරුදු 71 දිම අපි කරලා තියෙන්නේ නිදහස, ලාංකික භාවය, අනන්‍යතාවය ගැන කතා කරලා ඊට පස්සේ ඒකට පහර ගහලා අපට ඕන දෙයක් කරපු එක විතරයි.

මම හිතන්නේ අපි මේ අවස්ථාව ලබාගත යුතුයි ඒ තතත්වය වෙනස් කරගන්න. අපි සුද්දන්ගෙන් නිදහස ලබාගෙන කටයුතු කළේ  ඔවුන්ට වඩා හොදින් රට කරන්න පුළුවන් වෙයි කියලා. අපේ විවිධත්වයක්, ජාතිකත්වයක් තිබෙනවා.

නමුත් ශ්‍රී ලාංකික කියන එක තමයි අපේ එකම ශක්තිය. අපට තවමත් ආර්ථික නිදහසක් ලැබිලා තියෙනවද. ඒකත් එක්ක මේ පසුගියදා සිදුවූ ප්‍රශ්නය තුළ ශ්‍රී ලංකික කියන තත්ත්වය නැවතත් ප්‍රශ්නාර්ථයක් බවට පත්වෙනවා නේද.

මේ ප්‍රශ්නය ඇතිවුණාට පසුව මුස්ලිම් මව්ලවිලා ඉදිරිපත් වෙලා කිව්වා, දෙන්නෙක් තුන්දෙනෙක් නිසා  අපේ තිබුණ සමගිතාවය බිදිලා ගියා කියලා. මම එතුමන්ලාගේ ඒ තත්ත්වය ගොඩක් අගය කරනවා.

1971 දී තරුණ අසහනයක් තුළින් අපේ රටේ ලේ වැගිරිමක් සිදුවුණා. නැවතත්  1989 දිත් මේ තත්ත්වය ඇතිවුණා. ඒ වගේම වසර 30 ක් ද්‍රවිඩ ජනතාව මුල් කරගෙන එවැනි කෲර ප්‍රශ්නයක් තිබුණා.

දැන් මේ ආගම් වාදයක් මුල් කරගනිමින් ඒ අන්තවාදයඉස්ලාම් දෙසට ගිහින් තිබෙනවා. නමුත් ජනතාවගෙන්  99% ක් මේ තත්ත්වය ප්‍රතික්ෂේප කරනවා. අන්න ඒ නිසා තමයි මම කියන්නේ මව්බිමේ ජීවත්වන සියළු දෙනාම ශ්‍රී ලාංකිකයන් වශයෙන් ඉදිරියට ගමන් කළයුතුයි කියලා.

බොහෝ දෙනෙක් මේ අවස්ථාව පාවිච්චි කරලා දේශපාලනය කරන්න උත්සාහ කරනවා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ සුළු ජාතිකයන්ට උදව් දෙන පක්ෂයක් කියලා කියනවානම්, කාත්තන්කුඩිවල අඩුම ඡන්ද සංඛාවක් මේ පක්ෂයට ලැබෙනවාද. කවදද මේ ශරියා නීතිය ගෙනාවේ.

අපේ ආණ්ඩුවක් පවතින කාලයකද. ඇයි මේවා ගැන කතා කරන්නේ නැත්තේ. මේක තමයි තිබෙන ප්‍රශ්නය. අද ජනතාව දේශපාලනය තුට්ටුවකට ගණන් ගන්නේ නැහැ.

දේශපාලඥයෝ ජනතාව භේදබින්න කරනවා. බොරදියේ මාළු බානවා. මේක තමයි සැබෑ තත්ත්වය. ආණ්ඩු බලය නොමැති පිරිස් යම්  ආකාරයක දේශපාන තෘප්තියක් ලබන්න උත්සාහ කරවා.

ඒක තමයි ජනතාව කුපිත වෙලා තිබෙන්නේ. ජේ. ආර් .ජයවර්ධන මහතා එදා ජාතිවාදය නවත්වන්න 12.5% ක සීමාවක් තිබ්බේ. 1989 දී දේශපාලනීකරණය කරන්න කියලා ඒ සීමාව 5% ක් බවට පත් කරගත්තා.

ඒක තුළින් තමයි අන්තවාදය ආරම්භ වුණේ. අපි ශ්‍රී ලාංකික අනන්‍යාතවයක් දෙසට ගමන්  කරනවානම්, මේ රටට ජාතිවාදය අවශ්‍ය නැහැ. ආගම් වාදය අවශ්‍ය නැහැ. ජාති වාදයක් තිබෙන පක්ෂ තහනම් කළ යුතුයි. මේ අවස්ථාව උපයෝගී කරගෙන අන්තවාදය නැති කල යුතුයි.

විවිධත්වය තමයි අපේ ශක්තිය. සිංහල, දෙමළ. මුස්ලිම් කියලා වෙනම පාසල් ඇති නොකර එකම පාසලකට ගොස් අධයාපනය ලැබීම් කරන යුගයක්  තමයි ඇතිකළ යුත්තේ.

අදින පළදින දේවල් පිළිබදව අපේ මව්ලවිතුමන්ලා කියන කරුණු නීතිගත කළයුතුයි. මේ අවස්ථාව උපයෝගී කරගෙන ජාතිවාදය අවුස්සන දේවල් සිදුකිරීම හෙලා දැකිය යුතුයි.

අපි හැම විටම ලිබරල්වාදයක් ගෙනියන්න උත්සාහ කරනවා. ඒ තුළින් අපේ දුර්වලතාවයක් ඉස්මතුවෙලා තිබෙනවා.

මේක තමයි අද රටේ තත්ත්වය. අරාජික තත්ත්වයට ගමන් කරනවා. ඒ නිසා සියළුම දේශපාලන පක්ෂ එකමුතු වෙලා.

විවිධත්වය තුළින් අපේ ශක්තිය පෙන්විය යුතුයි.

මේ තමයි රටක් ඉදිරියට ගෙනියවන් පුළුවන් එකම ආකාරය. ඇතිවූ කෲර ක්‍රියාවන් නැවත ඇති නොවන තත්ත්වයට අඩිතාලම දාන්න පුලුවන් අපිටමයි.

මේ අවස්ථාව බැහැර කළොත් ඒක තමයි ඉදිරි අනාගතයට කරන ලොකුම පාපකර්මය වන්නේ.

Read more

Local News