පාකිස්තාන හෝටල් ප්‍රහාරයට ආ තුවක්කුකරුවන් මරුට

Share

පාකිස්තානයේ තරු හෝටලයක් ඉලක්ක කරමින් විවෘත වෙඩි ප්‍රහාරයක් එල්ල කරමින් ඊයේ (12දා) ඊට කඩා වැදුණු ආයුද සන්නද්ධ පුද්ගලයන් තිදෙනා වෙඩි තබා ඝාතනය කර තිබේ.

මෙම තුවක්කුකරුවන්ගේ වෙඩි පහරට ගොදුරු වී 5දෙනෙකු මරණයට පත් වී ඇති බව පාකිස්තානු හමුදාව පවසයි.

පර්ල් කන්ටිනෙන්ටල් නමැති මෙම හෝටලය පිහිටා ඇත්තේ පකිස්ථානයේ බලුකිස්තාන ප්‍රාන්තයේ ග්වාදාර් වරාය නගරයේය.

කෙසේ වෙතත්, තුවක්කුකරුවන් හෝටලයට කඩා වැදුණු අවස්ථාවේ සිට එය වටලා මෙම ප්‍රහාරකයන් මරා දැමීමේ මෙහෙයුමට පැය කිහිපයක් ගත වී තිබේ.

රාමලාන් සමය පවතින අවස්ථාවේදී ඉස්ලාමීය අන්තවාදීන්ගෙන් මෙවැනි ප්‍රහාර සිදු නොවනු ඇති බව බොහෝවිට කිය වුණත්, මෙය ඔවුන්ගේ අන්තවාදී ම්ලේච්ඡත්වය කියාපාන අවස්ථාවක් බව විදෙස් වාර්තා පවසයි.

කෙසේ වෙතත්, රාමලාන් සමය හේතුවෙන් හෝටලයේ විදෙස් සංචාරකයන් නොසිටි බැවින් සිදුවීමට ගිය මහා විපතක් නැවතී ඇති බව පාකිස්තාන හමුදාව පවසයි.

ඒ වනවිට හෝටලයේ සේවකයන් සුළු පිරිසක් හැරෙන්නට අමුත්තන් නොසිට ඇති අතර, ප්‍රහාරයට ගොදුරුව ඇත්තේ එකී සේවකයන්ය.

මෙම ම්ලේච්ඡ ප්‍රහාරයේ වගකීම බලුකිස්තානයේ විමුක්ති හමුදාව ලෙසින් හඳුන්වා ගන්නා ඉස්ලාම් අන්තවාදී බෙදුම්වාදී කණ්ඩායම භාරගෙන තිබේ.

එමෙන්ම, මෙම ප්‍රහාරය චීන සහ විදේශ ආයෝජකයන් ඉලක්ක කරමින් එල්ල කළ ප්‍රහාරයක් බවත්, ඉදිරියේදීද මෙවැනි ප්‍රහාර බලාපොරොත්තු විය හැකි බවත් ඔවුන් අනතුරු අඟවා ඇත.

Read more

Local News