ජොන්ස්ටන්ට එරෙහි නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ජුනි මස 7 වනදා

Share

හිටපු වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ජුනි මස 7 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(14) නියම කළේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් මෙම නියෝගය කරනු ලැබුවේය.

මෙම නඩුව මීට පෙර විභාගයට ගත් අවස්ථාවේදී මූලික විරෝධතා මතු කළ විත්ති පාර්ශවයේ නීතිඥවරුන් එම නඩුව විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන මෙන් අධිකරණයෙන් ඉල්ලීම් කර තිබුණි.

එම මූලික විරෝධතා පිළිබඳ තීන්දුව ජුනි මස 7 වන දා ප්‍රකාශයට පත් කරන බව මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේය.

පසුගිය 2010 වසරේ සහ 2014 වසර දක්වා වූ කාල සීමාව තුළ සතොස ආයතනයේ රාජකාරි කළ සේවකයින් 153 දෙනෙකු ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට රුපියල් කෝටි හතරකට ආසන්න පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තුන් දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

Read more

Local News