ප්‍රචණ්ඩකාරී සිද්ධිවලට සම්බන්ධ 9ක් රිමාන්ඩ්

Share

මිනුවන්ගොඩ නගරය හා ඒ අවට හටගත් කලහකාරී හා ප්‍රචණ්ඩකාරී සිද්ධීන් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් 9 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල ඔවුන් ලබන 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ.

හදිසි අවස්ථා රෙගුලාසි සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනතේ ප්‍රතිපාදනවලට අනුව ඊයේ(13) රාත්‍රී මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

එම පනත යටතේ අත්අඩංගුවට ගන්නා සැකකරුවන් හට ඇප ලබා ගත හැක්කේ මහාධිකරණයකින් පමණක් බව සඳහන්ය.

මීට අමතරව මිනුවන්ගොඩ නගරය හා ඒ අවට හටගත් කලහකාරී හා ප්‍රචණ්ඩකාරී සිද්ධීන්වලට සම්බන්ධ බවට සැකපිට අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් තවත් පුද්ගලයින් සිව් දෙනෙකු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Read more

Local News