හර්ෂගෙන් නිවේදනයක්

Share

ජාතිවාදී උගුලේ පැටලී අපේ දරුවන්ගේ අනාගතය විනාශ කරන්න එපා යනුවෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය  ආචාර්ය හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි .

ඔහු නිවේදනයක් නිකුත් කරමින් අද (14)  මේ බව  සඳහන් කළේය.

ශ්‍රී ලංකාව ලෝකයේ දියුණු රටක් බවට පත්කර ගත හැක්කේ කෙසේදැයි ආර්ථික විශේෂඥයෙකු ලෙස මා නොයෙක් අවස්ථාවල ආර්ථික විග්‍රහ සිදුකර තිබේ. එම විග්‍රහයන් සමග සමහරුන් එකඟවන අතර සමහරුන් එකඟ නොවන බව මා දනිමි.

පසුගියදා එල්ලකළ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් අහිංසක මිනිස් ජීවිත රැසක් රටට අහිමි වූ අතර බොහෝ දෙනෙකු ඉන් තුවාල ලැබීය. මේ හේතුවෙන් මෙරට ජන ජීවිතය විශාල වශයෙන් අඩාල වූ අතර අප සියලු දෙනාම මේ වනවිට සිටින්නේ දැඩි වේදනාවකින් සහ කනගාටුවකිනි. තොරතුරු ලැබී තිබියදීත් මෙම ම්ලේච්ඡ ප්‍රහාරය වලක්වා ගැනීමට රජයට නොහැකිවීම පිළිබඳව වත්මන් රජයේ නියෝජිතයෙකු ලෙස මා අවංකවම ලැජ්ජාවටත් කණගාටුවටත් පත්වෙමි.

ජනතාව තුළ මේ වනවිට තිබෙන වේදනාව සහ කනගාටුව අයුතු ලෙස භාවිතා කරමින් ජනතාව ප්‍රකෝප කිරීමටත් ඒ තුළින් ජාතිවාදී ගැටුම් නිර්මාණය කිරීමටත් ඇතැම් පිරිස් උත්සාහ කරන බව මේ දිනවල වර්ධනය වෙමින් තිබෙන සිදුවීම් වලින් පැහැදිලිවම පෙනෙන්නට තිබේ. අපි මේ ජාතිවාදී උගුලේ පැටලුණහොත් ඉතාමත් අසීරුවෙන් කළමනාකරණය කරමින් තිබෙන මෙරට ආර්ථිකය දැවැන්ත පසුබෑමකට ලක්වීම වැලැක්විය නොහැකි අතර ඒ තුළින් අපගේ පරම්පරා ගණනාවක් විඳවනු ඇත.

අයි.එස්. අයි. එස්. ම්ලේච්ඡ ත්‍රස්තවාදීන් බෝම්බ පිපිරවූ සමහර රටවල් මෙන්ම ශ්‍රී ලංකාවටත් වේගයෙන් යථා තත්ත්වයට පත්විය හැකි අතර එවිට සංචාරක කර්මාන්තය ඇතුළු ආර්ථික ක්‍රියාකාරකම් වෙනදා තිබූ තත්ත්වයටම පත්කර ගැනීමේ හැකියාවක් තිබෙන බව ඉතාමත් වගකීමෙන් ආර්ථික විශේෂඥයෙකු ලෙස මා සඳහන් කරමි.

ඒ සඳහා අවශ්‍ය වන්නේ මෙය ත්‍රස්තවාදී කණ්ඩායමක ප්‍රහාරයක් ලෙස හුදකළා කිරීම සහ එම ත්‍රස්තවාදී කණ්ඩායම විනාශ කිරීම සඳහා ආරක්ෂක අංශ වලට සහයෝගය ලබාදීමයි. මේ නිසා, මේ මොහොතේ ඇතැම් පුද්ගලයින්ගේ උසි ගැන්වීම් වලට නොරැවටෙන ලෙසත් සාමකාමීව කටයුතු කරන ලෙසත් ජනතාවගෙන් ආයාචනා කරන බව ඔහු සඳහන් කරයි.

මෙම ත්‍රස්ත ප්‍රහාර වලින් පසුව නැවතත් ඉක්මනින් යථා තත්ත්වයට පත්වීමේ හැකියාව තිබියදී මෙවැනි ගැටුම් වලට අපි පැටලුණහොත් එයින් සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකේය ජාතියම පරිහානියට යන අතර එය අනාගතයේදී ත්‍රස්තවාදීන්ගේ ජයග්‍රහණයක් වනු ඇත.

එවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇතිවුවහොත් සංචාරක කර්මාන්තය තිබූ තත්ත්වයට පත්කර ගැනීමට අපට නොහැකි වනු ඇත. එවිට එහි බලපෑම කෘෂි නිෂ්පාදන අංශයට, ආහාර පාන නිෂ්පාදන අංශයට, තොග සහ සිල්ලර වෙළඳාමට, ප්‍රවාහනය ඇතුළු බොහෝ අංශ වලට අහිතකර ලෙස බලපානු ඇත. මෙහිදී,  විදේශ මූල්‍ය අංශය පිරිහීමට ලක්වන අතර විදේශීය ණය ගෙවීමේ හැකියාවද දුර්වල වනු ඇත.

මේ අවස්ථාවේ අප ඉදිරියේ තිබෙන අභියෝගය වන්නේ මරාගෙන මැරෙන වහබ්වාදී මුස්ලිම් ත්‍රස්තවාදය ඇතුළු සියලු  අන්තවාදයන් පරාජය කර සිංහල,දෙමළ, මුස්ලිම්, බර්ගර් සමාජයේ මධ්‍යස්ථ මතධාරීන් ශක්තිමත් කරමින් රට ගොඩ නැගීමයි බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Read more

Local News