සහරාන්ට සහාය දුන් පාර්ලිමේන්තු සේවකයෙක් අත්අඩංගුවට

Share

සහරාන් හෂීම්ගේ ත්‍රස්තවාදී කටයුතු සඳහා සහාය දුන් එම සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු බව පැවසෙන පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්ථක අංශයේ සේවය කරන පුද්ගලයෙකු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදා (18දා) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර, අලවතුගොඩ ප්‍රංදේශයේ පදිංචි මොහොමඩ් නවුෂාඩ් ජලාල්දීන් (අවු.42) නමැති දෙදරු පියෙකි.

තවුහීද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස සැකපිට පසුගියදා අත්අඩංගුවට ගත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ විද්‍යුත් ඛන්තුරේඛණ නිලධාරියා ඇතුඵ තවත් සැකකරුවන් තිදෙනෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකරු 2006 වසරේදී පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තන අංශයේ සෝදුපත් බලන්නෙකු ලෙස සේවයට බැඳී ඇති අතර,

ඊට පෙර ඔහු වෙනත් රැකියාවකද නිරත වී ඇති බවත්, පාර්ලිමේන්තුවේ මෙවැනි වගකිවයුතු තනතුරක් සඳහා තරඟ විභාගයක් තුළින් තේරීපත් වීම පිළිගත් ක්‍රමවේදය වුවද සැකකරුට එම ක්‍රමවේදයෙන් බැහැරව ඉහළ පෙළේ මුස්ලිම් දේශපාලන නායකයෙකු හරහා මෙම රැකියාව ලැබී ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි වාර්තා වේ.

එමෙන්ම සැකකරු මෙම තනතුරේ සිටියදී පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මුස්ලිම් දේශපාලනඥයන් සමග සමීපව ඇසුරු කර ඇති බවද හෙළි වී ඇත.

මේ දිනවල රට තුළ පවතින හදිසි තත්ත්වය හේතුවෙන් ජනතාවගේ ආරක්ෂාව සඳහා යොදවා තිබෙන අකුරණ නගරයේ ඇති පොලිස් මාර්ග බාධකයද ඉවත් කිරීමට සැකකරු මුස්ලිම් දේශපාලනඥයන් කිහිප දෙනෙකු සමග සාකච්ඡා පවත්වා ඇතැයි අදාළ විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබේ.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ විද්‍යුත් ඛන්තුරේඛණ නිලධාරියා සමග සැකපිට අත්අඩංගුවට ගෙන සිටින තවුහීද් ජමාත් සංවිධානයේ ඉතා ක්‍රියාකාරී සාමජිකයන් බවට මේ වනවිට හඳුනාගෙන සිටින අනෙක් සැකකරුවන්ගෙන් දෙදෙනෙකු ඉබ්බාගමුව, තල්ගොඩපිටියේ පදංචිකරුවන් වන අතර, අනෙක් පුද්ගලයා කුරුණෑගල, දඹුල්ල මාර්ගයේ අලකොළදෙණිය පදිංචිකරවෙකි.

තල්ගොඩපිටිය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි එක් සැකකරුවෙකු කුරුණෑගල දිස්ත්‍රික්කයේ තවුහීද් ජමාත් සංවිධානය ඇතුළු මුස්ලිම් අන්තවාදී සංවිධාන කිහිපයකම සම්බන්ධීකාරකවරයා ලෙස කටයුතු කරමින් සිටි අයෙකු බවටද අනාවරණය වී තිබේ.

එමෙන්ම එම ප්‍රදේශයේම පදිංචි 48 හැවිරිදි අනෙක් සැකකරු තවුහීද් ජමාත් සංවිධානයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් කටයුතු කර ඇති බවත්, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී ලියන ලද රුපියල් ලක්ෂ 21ක් වටිනා චෙක්පතක් තිබූ බවත් වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ උපදෙස් අනුව, වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගේ ඍජු මෙහෙයවීම යටතේ සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News