ග්‍රෑන්ඩ්පාස්හි දෙපිරිසක් අතර ගැටුමක් – අයෙක් මරුට

ග්‍රෑන්ඩ්පාස්, වෙහෙරගොඩැල්ල, කම්බිතොටුව ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඊයේ(21) රාත්‍රීයේ ඇති වු ආරවුලක් මත පුද්ගලයෙක් ඝාතනය කර තිබේ.

ආරවුල මත සිදු කළ පහරදීමෙන් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කැපුම් තුවාල සහිතව බරපතළ තත්ත්වයේ සිටි එක් පුද්ගලයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 46 ක් වු ඔරුගොඩපුර, වෙහෙරගොඩැල්ල, වැල්ලම්පිටිය යන ලිපිනයේ පදිංචි සුගත් ඉන්ද්‍රජිත් නොහොත් චුටියා යන අයෙක් බව පොලීසිය පවසයි.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනා ගෙන ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.