අධ්‍යාපන අමාත්‍යාංශයේ කණ්ඩායමක් සිංගප්පූරුවට යයි

Share

ආගම් සහ භාෂා අනුව පාසැල් වෙන් නොකර පොදු පාසල් ක්‍රමයක් බිහිකිරීම අධ්‍යාපන අමාත්‍යවරයාට දැන් පැවරී ඇති වගකීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අරලියගහ මන්දිරයේදී අද(22) උදෑසන පැවැති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ජාතික ශික්ෂණවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව නිමකළ ගුරුවරුන් සඳහා ජාතික ශික්ෂණවිද්‍යා ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය අරලියගහ මන්දිරයේදී අද පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදි විද්‍යා පීඨ 5 ක ශික්ෂණලාභින් 2365දෙනකු සඳහා ඩිප්ලෝමා ප්‍රදානය සිදුකෙරුණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අග්‍රමාත්‍යවරයා මෙසේ පැවසීය.

ආගම් හා ජාතිය පදනම් කරගනිමින් සිංහල, දෙමළ, මුස්ලිම්, කතෝලික වශයෙන් පාසල් ඉදිරියට ගෙනයනවා ද, එසේත් නැත්නම් පොදු පාසල් ලෙස ඉදිරියට ගෙන යනවා ද කියා අද අප තීරණය කළ යුතුව තිබෙනවා.

මේ අනුව ඉරිදා දහම් පාසැල් හැර ආගමික පාසැල් සියල්ලම අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කිරීමට අප දැනටමත් තීරණය කර තිබෙනවා.

එමෙන්ම මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ සහ ඇමැතිවරුන්ගේ එකඟත්වය මත මද්‍රසා අධ්‍යාපන ආයතන ක්‍රියාත්මක කිරීම සඳහා මණ්ඩලයක් ඇති කිරීමටත්, ඒ කටයතු අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පත් කිරීමටත් තීරණය කර තිබෙනවා.

පාසලක් ආගමික නායකයෙක් වෙනුවෙන් හෝ ශාස්තෘවරයෙක් වෙනුවෙන් නම් කළාට කමක් නැහැ.

එහෙත් ජාතීන් ආගම් අනුව පාසල් නම් කළ යුතු ද කියන ප්‍රශ්නය මතුව තිබෙනවා. මෙවැනි පාසල් පොදු පාසල් ලෙස සලකා අවශ්යම පරිවර්ථන සිදුවීමට වසරක හෝ දෙකක කාලයක් ලබා දිය යුතුයි.

ඇතැම් විට ඒ ඒ ප්‍රදේශවල ජීවත් වන ජනගහනය පදනම් කරගෙන ඒ ප්‍රදේශයේ පාසල් එක් ආගමකට එක් ජාතියකට සීමා විය හැකියි.

නමුත් සෑම ජාතියකම, සෑම ආගමකම දරුවන් සිටින මිශ්‍ර පාසල් ඇති කිරීමට අපේ අවධානය යොමු කළ යුතුයි.

මෙවර වෙසක් පොහොය වෙනුවෙන් ඉස්ලාම්, කතෝලික හා අනෙකුත් ආගම්වලට අයත් සියලූ ජාතීන් එකට එක්ව වෙසක් සැමරූ අයුරු අප දුටුවා. මේ තත්ත්වය ආරක්ෂා කළ හැක්කේ අපේ රටේ පාසල් ක්‍රමය ප්‍රතිව්‍යුහගත කරනවා නම් පමණයි.

එදා මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා අනාගතය දෙස බලා අධ්‍යාපන ක්‍රමයක් ඇති කළා.

අපි එයින් ඈත් වුවත් ඒ ක්‍රමය සිංගප්පූරුව අද ක්‍රිකයාත්මක කරනවා. මෙම ක්‍රමවේදය සම්බන්ධව සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ කණ්ඩායමක් එරටට යැවීමට අප පියවර ගෙන තිබෙනවා.

මෙරටට නව අධ්‍යාපන ක්‍රමය සම්බන්ධව විවිධ යෝජනා සහ අදහස් මේ වනවිට ඉදිරිපත්ව තිබෙනවා.

ඒ සියල්ල සාකච්ඡා කොට ශ්‍රී ලාංකීය අනන්‍යතාවයේ මූලධර්ම පදනම් කර ගනිමින් අධ්‍යාපන ක්‍රමය ඉදිරියට ගෙන යෑම අපේ අරමුණයි. “

මෙම අවස්ථාවට ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂය ජෙනරාල් ආචාර්ය මාබුල්ගොඩ සුමනරතන ස්වාමීන් වහන්සේ, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන්, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එම්.එන්. රණසිංහ, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ‍ ජෙනරාල් ආචාර්ය ටී.ඒ.ආර්. ජයන්ති ගුණසේකර, ගුරු අධ්‍යාපන ප්‍රධාන කොමසාරිස් බී.ඩී.සී. බියන්විල යන මහත්ම මහත්මීන් ප්‍රමුඛ දේශපාලනඥයින් ඇතුළු විද්‍යා පීඨාධිපතිවරුන්, ගුරු භවතුන් සහ ඩිප්ලෝමා ලාභී ගුරුවරුන් විශාල පිරිසක් සහභාගීවී සිටියහ.

Read more

Local News