සෙනරත්ගේ නඩුවට අදාළ අවසන් දේශන ජුනි 03 වනදා

Share

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුවට අදාළ අවසන් දේශන ජුනි මස 03 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ට නියෝග කළේය.

සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව අද(23) කැඳවනු ලැබුවේය.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා විසින් නඩූවේ සාක්ෂි වල නිවැරදි කිරීම් අඩංගු පිටපතක් අධිකරණයට භාර දූන්නේය.

ඒවා පරීක්ෂා කර තම ස්ථාවරය මෝසම් මාර්ගයෙන් මීළඟට දින ඉදිරිපත් කරන ලෙස අධිකරණය විත්තියේ නීතිඥවරුන්ට නියෝග කළේය.

අනතුරුව නඩුවේ අවසන් දේශන ජුනි මස 03 වනදා ඉදිරිපත් කරන ලෙස ද අධිකරණය දෙපාර්ශවයේම නීතිඥවරුන් ට නියම කළේය.

2014 වසරේ පෙබරවාරි මස 01 වනදා 2015 වසරේ ජනවාරි මස 19 දක්වා කාලසීමාව තුළ ලිට්රෝ ගෑස් සමාගමට රුපියල් මිලියන 500ක මුදලක් කැන්විල් හෝල්ඩිං සමාගම හරහා හෙලන්කෝ හොටෙල් ඇන්ඩ් ස්පා සමාගමේ ආයෝජනය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිවු දෙනකුට එරෙහිව මුලින්ම නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.

එහෙත් මෙම නඩුවේ විභාගය අවසන් වීමෙන් පසුව නිල් බණ්ඩාර හපුහින්න නමැති විත්තිකරු විත්තියේ සාක්කි කැඳවීමකින් තොරව නිදහස් කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය ඉකුත් දා නියෝග කෙළ්ය.

ඉන් අනතුරුව ගාමිණී සෙනරත්, පියදාස කුඩාබාලගේ සහ ලසන්ත බණ්ඩාර යන විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩු විභාගය පැවැත්වෙයි.

Read more

Local News