ඉන්දීය අගමැති ධූරයට මෝදි යළි පත් කරයි

Share

ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් 75 වන වගන්ති ප්‍රකාරව ඉන්දීය ව්‍යවස්ථාවෙන් තමාට පවතින බලතළ ක්‍රියාත්මක කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය ධූරයට නරේන්ද්‍ර මෝදි යළි පත් කර තිබේ.

මෙහිදී ඉන්දීය ජනාධිපතිවරයා මෙවර මහ මැතිවරණයෙන් සුවිශාල ජයක් ලැබූ නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා ඇත්තේ අමාත්‍ය කවුන්සිලයට පත් කළ යුතු සෙසු අමාත්‍යවරුන් පිළිබඳ තමන් දැනුවත් කරන ලෙසයි.

මේ සමග රාෂ්ට්‍රපති භවන්හි පැවැත්වීමට නියමිත දිවුරුම්දීමේ උත්සවය පැවැත්වෙන දිනය සහ වේලාව පිළිබඳ තමා දැනුවත් කරන ලෙස ද ඉන්දීය ජනාධිපතිවරයා නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා සිටියේ ය.

මෙහිදී නරේන්ද්‍ර මෝදි භාරතීය ජනතා පක්ෂ පාර්ලිමේන්තු පක්ෂයේ නායකයා බවත් එන්.ඩී.ඒ පක්ෂ වෙතින් ඔහුට සහය ලැබෙන බවත් දැක්වෙන ලිපි ජනාධිපතිවරයා වෙත භාරදී ඇත.

මීට පෙර භාරතීය ජනතා පක්ෂය මෙහෙය වූ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ නායකයා ලෙස ද නරේන්ද්‍ර මෝදි තෝරා පත් කරගත්තේ පාර්ලිමේන්තු මධ්‍යම ශාලාවේ හමුවකට රැස් වූ අලුතින් පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජ්‍යෙෂ්ඨ නායකයන් පිරිසකගේ ප්‍රධානත්වයෙනි.

එම සන්ධානයේ නායකයන් වන ජනතා දාල් පක්ෂයේ නිතිෂ් කුමාර්, ශිව් සේනා පක්ෂයේ උද්ධව් තැකරි සහ අකාලි දාල් පක්ෂයේ ප්‍රකාශ් ෂිං, නරේන්ද්‍ර මෝදි භාරතීය ජනතා පක්ෂ පාර්ලිමේන්තු නායකයා ලෙස තෝරා පත්කර ගැනීමෙන් පසු ඔහුට තමන් තවදුරටත් සහය දක්වන බව ප්‍රකාශ කළේ ය.

ඉදිරියේදී රජය වේගයෙන් ක්‍රියාත්මක වන බවත් තත්පරයක් හෝ අපතේ නොයවන බවත් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පසුව මාධ්‍ය අමතා ප්‍රකාශ කර තිබේ.

පසුගිය දා නිකුත් කළ ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵලවලට අනුව භාරතීය ජනතා පක්ෂය පාර්ලිමේන්තු ආසන 303 ක් දිනාගත් අතර එය 2014 වසරේ ඔවුන් හිමිකරගත් ඓතිහාසික ජයග්‍රහණය ද ඉක්මවූවක් බව සඳහන් ය.

මේ අනුව භාරතීය ජනතා පක්ෂය මෙහෙවූ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය සතු සමස්ත පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 352 කි.

කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි මේ අවස්ථාවේදී පක්ෂ නායකත්වයෙන් ඉවත් වුවහොත් ඔහු සෘජුවම භාරතීය ජනතා පක්ෂයේ උගුලට හසුවනු ඇතැයි ප්‍රියංකා ගාන්ධි ප්‍රකාශ කර ඇත.

ඒ, මැතිවරණ පරාජයේ වගකීම භාරගනිමින් කොංග්‍රස් පක්ෂ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බව රාහුල් ගාන්ධි ඊයේ කළ ප්‍රකාශයෙන් පසුවයි.

කෙසේ වෙතත් ඔහු ඉල්ලා අස්වුවහොත් කිසිවකු එම ධූරයට පත්නොවනු ඇති බවත් කොංග්‍රස් පක්ෂ ආධාරකරුවන් සිය දිවි හානි කරගනු ඇති බවත් කොංග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු ප්‍රකාශ කළේ ය.

Read more

Local News