පාසල් දරුවන්ට යකඩ හා ෆෝලික් ඇසිඩ් දෙන්න සැලසුමක්

Share

පාසල් දරුවන්ගේ යකඩ ඌනතාව තුරන් කිරීම සඳහා පාසල් දරුවන්ට ලබාදෙන දිවා ආහාරය සමග යකඩ හා ෆෝලික් ඇසිඩ් ලබා දීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

දිවා ආහාරය සකස් කිරීමට ගන්නා සහල් සමග මෙම ද්‍රව්‍ය මිශ්‍ර කර, පාසල් දරුවන්ගේ දිවා ආහාරය සකස් කරන පිරිසට නොමිලේ මෙම සහල් ලබා දීමට කටයුතු කරන බවද කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කළේය.

අදාළ ද්‍රව්‍ය සහල් සමග මිශ්‍ර කරන කර්මාන්ත ශාලාවක් අනුරාධපුර කලංකුටිය ප්‍රදේශයේ ආරම්භ කර තිබෙන අතර, ලෝක ආහාර වැඩසටහන යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

අදාළ සහල් බෙදා දීම අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර තිබෙන අතර, ඉදිරියේදී මොනරාගල හා මහනුවර යන දිස්ත්‍රික්කවල පාසල්වලට ලබාදීමට සැලසුම් කර ඇත.

දරුවන්ගේ යකඩ ඌනතාව සොයා බැලීම සඳහා සමීක්‍ෂණ කණ්ඩායමක් පත්කර තිබෙන අතර, එම සමීක්‍ෂණ කණ්ඩායමේ දත්තවලට අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

මීට අමතරව යකඩ ඌනතාවෙන් පෙළෙන දරුවන් යකඩ පෙති හෝ ෆෝලික් ඇසිඩ් බීමට මැලිකමක් දක්වන බවට සොයා ගෙන තිබෙන අතර, ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය හා පේරාදෙණිය විශ්වවිද්‍යාලය එක්ව සහල්වලට මෙම ද්‍රව්‍ය මිශ්‍ර කර ලබා දීමට තීරණය කර තිබේ.

මෙම ආහාර වේල තුළින් රක්තහීනතාව, මතක ශක්තිය දුර්වල වීම හා ශරීර වර්ධනය අඩු වීම සඳහා විසඳුම් ලැබෙන බවද කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

Read more

Local News