කෝට්ටේ හිටපු නගරාධිපතිට එරෙහි නඩුව ජුලි 03 වනදා කැඳවයි

Share

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාවේ වත්මන් නගරාධිපති මධුර විතානගේ මහතාගේ පෞද්ගලික පරිගණකයට අයුතු ලෙස ඇතුළත් වී එහි දත්ත සොරකම් කළේ යැයි චෝදනා එල්ල වී සිටින එම මහනගර සභාවේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුව ජුලි 03 විත්තියේ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද(27) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවන ලැබුවේය.

එහිදී  විත්තිකාර ජනක රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා මූලික විරෝධතාවක් මතු කරමින් මෙම නඩුව පරිගණක අපරාධ පනත යටතේ ගොනු කර ඇති බවත් මෙම නඩුවේ චෝදනා පවත්වාගෙන යාමට තිබෙන හැකියාව සම්බන්ධයෙන් තමා මූලික විරෝධතාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව කියා සිටියේය.

ඒ සඳහා දිනයක් ලබාදෙන ලෙසයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව පැමිණිල්ල නැවත ජුලි මස 3 වනදා කැඳවීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එදින අදාළ මූලික විරෝධතා ඉදිරිපත් කරන ලෙස  විත්තියේ නීතිඥවරයාට දැනුම් දුන් අතර අද දින අධිකරණය හමුවේ පෙනී සිටි සාක්ෂිකරුවන් මුදා හරින ලෙසට නියම කළේය.

නැවත නොතීසියක් ලද විට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විනිසුරුවරයා මෙහිදී සාක්ෂිකරුවන්ට දැනුම් දුන්නේය.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වත්මන් නගරාධිපති මධුර විතානගේ මහතා එම නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ අවධියේ ඔහුගේ නිල කාමරයට අයුතු ලෙස ඇතුළු වී ඔහුගේ පරිගණකයේ තිබූ දත්ත සොරකම් කළ බවට චෝදනා කරමින් පරිගණක අපරාධ පනත යටතේ එම නගර සභාවේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබේ.

Read more

Local News