වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවකයා තව දුරටත් රිමාන්ඩ්

Share

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලය දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බෝම්බකරුට අයත් බව කියන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තඹ කම්හලේ සේවය කළ කරුපයියා රාජේන්ද්‍රන් හෙවත් අබ්දුල්ලා නැමැති සැකකරු ලබන 10 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තැබීමට නියම කළේය.

මෙම පැමිණිල්ල අද(27) කැඳවූ අවස්ථාවේදී මීට පෙර අධිකරණය මඟින් නිකුත්කළ නොතීසියකට අනුව ඇප මත මුදාහැර සිටින සෙසු සැකකරුවන් හත් දෙනා ද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

මෙහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කරුණු දැක් වූ ත්‍රස්ත විමර්ශන කාර්යාංශය නිලධාරියා කියා සිටියේ වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝග පරිදි මෙම සිද්ධිය පිළිබඳව ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය මඟින් පරීක්ෂණ ආරම්භ කර ඇති බව කියා සිටියේය.

මෙම නඩුවේ කරුපයියා රාජේන්ද්‍රන් හෙවත් අබ්දුල්ලා නමැති සැකකරු ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායකයා සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඇති බවට තොරතුරු හෙළිවී ඇති බවත් ඒ අනුව ඔහුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පරීක්ෂණ කටයුතු කරන බවත් කියා සිටියේය.

ඒ අනුව අදාළ සැකකරු තවදුරටත් ලබන 10 වනදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කරන ලෙසයි ත්‍රස්ථ මර්දන කාර්යාංශයේ නිලධාරියා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින සෙසු සැකකරුවන් නවදෙනා ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට මෙතෙක් කරුණු අනාවරණය වී නොමැති බව සඳහන් කළ ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ නිලධාරීන් ඔවුන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවයි කියා සිටියේය.

ත්‍රස්ථ මර්දන කොට්ඨාශය විසින් කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරයා  ඇප මත මුදාහැර සිටින සැකකරුවන් නවදෙනෙකුට හෙට(28) දින සිට ජුනි මස 10 වනදා දක්වා ත්‍රස්ථ මර්දන කොට්ඨාශය හමුවට ගොස් ප්‍රකාශ ලබා දෙන්නැයි නියම කළේය.

Read more

Local News