අපි කවදාවත් සමාජයෙන් පාඩමක් ඉගෙන නොගන්නා ජාතියක්

Share

යම් ත්‍රස්තවාදි ක්‍රියාවලියකට යොමුවූ දෙතුන් දෙනෙක් මේ රට විනාශ කරන්න හැදුවට, අපේ අහිංසක ජනතාව සියලු දෙනා, මෙය අපේ රට, එය අපි ආරක්ෂා කළ යුතුයි කියන හැගීමෙන් අද ඒකරාශීවෙලා කටයුතු කරන බව විදුලිබල , බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, වෙසක් උත්සවය නිමිත්තෙන්  උතුරු කොළඹ  සනයේ පැවති ප්‍රජා සත්කාර වැඩසටහන් මාලාවකට සහභාගි වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

නිදහස ලබාගෙන වසර 71 ක් ගෙවුණත්,  අපි කවදාවත් සමාජයෙන් පාඩමක් ඉගෙන නොගන්නා ජාතියක් හැටියට ඉතිහාසගත වෙලා තියෙන්නේ. අපි දැන්වත් රට ඉදිරියට ගෙනියන්න අත්වැල් බැදගෙන කටයුතු කළ යුතුයි. එකම රටක්, එක ජාතියක්, එක ව්‍යවස්ථාවක් යන සංකල්පය තුල මනුෂ්‍යභාවයක් සහිත  රටක් හදන එක තමයි අද අවශ්‍ය වන්නේ

පසුගිය සති කිහිපය රට ඉතාමත් භයංකාරී තත්ත්වයක් මත ගමන් කළා. ප්‍රශ්නය විසදුණාට ජනතා සිත් තුළ  තවමත් ආන්දෝලනයක් තියෙන්නේ, නැවතත් ඒ වගේ තත්ත්වයක් ඇතිවෙයිද කියන එකයි. මේ රටේ පාලකයෙක් හැටියට මම කියන්නේ, පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවේ සහයෝගය මත, ආරක්ෂාව සම්බන්ධයෙන් ගතහැකි ක්‍රියාමාර්ගයන් හැකි උපරිමයෙන්  අපි මේ වනවිට අරගෙන තිබෙන්නේ. මේ අවස්ථාවේ අප කළ යුත්තේ ළාබාල දේශපාලන තීරණ ගන්න එක නෙමෙයි. අපේ ජනතාවට  රට තුල බියක් සැකක් නැතිව ජීවත්වීමේ හැකියාව ඇති කරදීමයි. වුණදේ වුණා. නමුත් ඉදිරියට මෙවැනි තත්ත්වයක් ඇති නොවන ආකාරයේ ස්ථාවරයකට එන්න අපි සියළු දෙනාම එක්වී අඩිතාලමක් දැමිය යුතුයි.

මේ පුංචි ලංකාවට විතරක් නෙමෙයි මේ ව්‍යසන ඇතිවෙලා තියෙන්නේ. අපට උපදෙස් දෙන ඇමරිකාව, එංගලන්තය, ජර්මනිය, බ්‍රසීලය, බෙල්ජියම්  වැනි මහා දැවැන්ත රටවලටත් මෙවැනි ව්‍යසන ඇති වෙලා තිබෙනවා. මේ තුළින් අපි එක් පාඩමක්  ඉගෙනගත යුතුයි. ඒ තමයි අපි සෑම අවස්ථාවකම අපේ ආරක්ෂාව සලසා ගත යුතුයි. තමාගේ ආගම විකුණලා කටයුතු කරන මේ වගේ මානසික රොගීන් නිසා මුළුමහත් ලෝකයේම ප්‍රශ්න ඇති වෙනවා.

රටක් වශයෙන් ඉදිරියට ඇවිත් කටයුතු කරන්න අවශ්‍ය අවස්ථාවක් තමයි අද මේ උදා වෙලා තියෙන්නේ. ජාතියක්, ආගමක්, කුලයක් වශයෙන් නොසිතා. ශ්‍රී ලාංකිකයන් වශයෙන් සිතා කටයුතු කල යුතුයි.

යම් යම් පිරිස් එක් එක් කොටස් වල සිත් සතුටු කරන්න විහිළු ප්‍රකාශ ඉදිරිපත් කළාට , මේක සිංහල, බෞද්ධ රටක්. ඒක අපි පිළිගත යුතුයි. මේ රට තුළ අනෙකුත් සියලු ජාතීන්ට,  ආගම් වලට සම තත්ත්වයත් ඇතිව ජීවත්වීමේ හැකියාව ඇති කරන්නයි අපි හදන්නේ.

අපි සමගිතාවයෙන්, එකමුතු භාවයෙන් ජයග්‍රහණය කළයුතුයි. මේක තමයි රටක් දියුණූ කරන්න, ඉදිරියට ගෙනයන්න පුළුවන් ශ්‍රිඝයෙන්  කළ හැකි දේ. අපේ රටේ තියෙන්නේ භාෂාවන් දෙකයි. ඒ සිංහල, සහ දෙමළ. සම්බන්ධීකරණ භාෂාවක් වශයෙන් අපි ඉංග්‍රීසි භාෂාව යොදා ගන්නවා. මේ හැරෙන්නට මේ රටට වෙනත් කිසිදු භාෂාවක් අවශ්‍ය වන්නේ නැහැ. වෙනත් රට වල දේවල් මේ රටට ගන්නේ නැතිව, වසර දහස් ගණනක් පැරණි අපේ සංස්කෘතිය ආරක්ෂා කල යුතුයි” යැයි පැවසිය.

Read more

Local News