විල්පත්තු අනවසර ඉදිකිරීම්වලට එරෙහි පෙත්සම විභාගයට දින නියම වෙයි

Share

විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපය තුළ සිදූකර තිබෙන අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමක් නැවත විභාග කිරීම සඳහා අභියාචනාධිකරණය දින නියම කර තිබේ.

පරිසර යුක්ති කේන්ද්‍රය මගින් ඉදිරිපත් කළ මෙම පෙත්සම මුලින්ම අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා ඉදිරියේ විභාග කොට අවසන් කර තිබු අතර එහි තීන්දුව අගෝස්තු මස 6 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.

එහෙත් මෙම නඩුව නැවත විභාග කිරීමට තීරණය වී ඇති අතර එම නැවත විභාගය ජනක් ද සිල්වා සහ. නිශ්ශංක බන්දුල කරුණාරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ජුලි මස 31 දා පැවැත්වීමට නියමිතව තිබේ.

පරිසර යුක්ති කේන්ද්‍රය මඟින් මෙම නඩුව 2015 වසරේ අභියාචනාධිකරණය හමුවේ ගොනු කෙරුණු අතර එමඟින් සඳහන් කර තිබුණේ විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය එළිකොට ඒ තුළ අනවසර ඉදිකිරීම් සිදුකිරීම හේතුවෙන් දැඩි පාරිසරික හානියක් සිදුව ඇති බවයි.

එම නිසා අදාළ වනාන්තර එළි කිරීම නීති විරෝධී බවට තීන්දු කර දැනට සිදුකර තිබෙන අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා තිබුණි.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසක් නම් කර තිබුණි.

Read more

Local News