නීති හදන්න බලය තියෙන අය අපිව හොයාගෙන එන්න ඕන නැහැ

Share

ත්‍රස්තවාදය මර්දනය කිරීමේ නීති සකස් කිරීමේ බලය පාර්ලිමේන්තුවට ඇතත් එම මන්ත්‍රීවරු ලිපිලේඛන සකස් කර අප හමුවට පැමිණ විසදුම් ඉල්ලා සිටින බව පැවසු මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියෝ ඔවුන් පාර්ලිමේන්තුවට පත් කර ඇත්තේ ඒ කරුණු විසඳීම සඳහා යැයිද පැවසූහ.

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (28) පෙරවරුවේ මහනුවරට පැමිණ ශ්‍රී දළඳා මාලිගාවේදී ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගත් අතර මල්වතු මහා විහාරයට පැමිණ එහිදී එම පාර්ශවය මහනායක හිමි බැහැදුටු අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළහ.

රට පත්ව ඇති කනගාටුදායක තත්ත්වය පිළිබඳව ඇතැම් පාලකයන්ට හැඟීමක් නොමැති බවත් තමන් හමුවට පැමිණෙන බොහෝ මන්ත්‍රීවරු ඉල්ලා සිටින්නේ රට ජාතිය බේරා ගැනීමට කටයුතු කළ යුතුව ඇති බව  යැයි ද කීවේය.  ඔවුන් සියල්ලන්ගේම අදහස එක් අදහසක් යැයි ද උන්වහන්සේ සඳහන් කළහ.

පාර්ලිමේන්තුවේ කාටත් එකතු වී යම් යම් විසඳුම් කරා යොමුවිය හැකි බවත් එමෙන්ම ජනාධිපතිවරයාට ද ඔහුට ඇති බලතල අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකි බවත් ඡන්ද දෙස බලමින් වැඩ කළොහොත් අවසානයේදී අපට ජීවත් වෙන්නට රටක් ඉතුරු වෙන්නේ නැති බවත් මල්වතු පාර්ශවයේ මහා නායක හිමිපාණන් වහන්සේ සඳහන් කළහ.

මල්වතු පාර්ශවය මහනායක හිමිපාණන් වහන්සේ සමඟ අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

“ඡන්ද දෙස බලමින් ක්‍රියාකිරීම නිසා තමයි රටට මේ වගේ ඛේදනීය තත්ත්වයක් උදාවී තිබෙන්නේ.  වඳ සැත්කම් සිදුකළ බව කියන කුරුණෑගල වෛද්‍යවරයා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම කෙසේ වෙතත් ඔහු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමට යන බවක් දක්නට ලැබෙනවා.

එම පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කර වෛද්‍යවරයා නිදහස් කිරීමට දේශපාලනඥයන් උත්සාහ කරන බවයි පෙනෙන්නේ.  එම පුවත වාර්තා කළ මාධ්‍යවේදීන්ට පවා අද චෝදනා නගන තත්වයකට  රට පත්වෙලා. මේ තත්ත්වයෙන් ගොඩනැගීම සඳහා මහා සංඝරත්නයේ උදව් උපකාර අද අවශ්‍යයි.  අප කාදිනල්තුමා හමු වූ අවස්ථාවේදී උන්වහන්සේ සඳහන් කළේ අස්ගිරි සහ මල්වතු මහනායක හිමිපාණන් වහන්සේ බැහැදැක ඉදිරියේ දී කළ යුතු කරුණු පිළිබඳව සාකච්ඡා කරනවා.”

Read more

Local News