තවදුරටත් දෙමළ ජනතාව රවටන්න එපා – ආර්.සම්බන්ධන්

Share

උතුරේ ජාතික ගැටළුවට ස්ථිර දේශපාලන විසඳුම් ගෙන ඒම ඇතුළු දෙමළ ජනතාව වෙනුවෙන් ලබාදුන් පොරොන්දු රජය විසින් එලෙසම ඉටුකළ යුතු බවත් තවදුරටත් දෙමළ ජනතාව නොරවටන ලෙසත් දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා සඳහන් කරයි.

එමෙන්ම දෙමළ ජනතාවට නිදහසේ සිය අයිතිවාසිකම් විදිමින් ජීවත් වීමට නම් ජාතික ගැටළුවට විසඳුම් ගෙන ආ යුතු බවත් ඒ සඳහා වූ පොරොන්දුව රජය විසින් නොපමාව ඉටුකළ යුතු බවත් සම්බන්ධන් මහතා සදහන් කළේය.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේ දී පැවති අතර එම සාකච්ඡාව පිළිබඳ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සම්බන්ධන් මහතා මේ බව කියා සිටියේය.

තිස් වසරක යුද්ධයෙන් පීඩාවට පත්වූ දෙමළ ජනතාවගේ ජීවන තත්වය ඉහළ දැමීම සහ උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය කිරීමේ කාර්යන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දුන් පොරොන්දුව එලෙසම ඉටුකළ යුතුයි. දීර්ඝ කාලීන ජාතික ගැටළුවට දේශපාලන විසදුම් ගෙන ඒමට ද රජය කටයුතු කළ යුතුයි.

උතුරේ සංවර්ධන ව්‍යාපෘති රැසක් සිදුකර තිබෙනවා.නමුත් සංවර්ධනය ඉදිරියට දෙමළ ඕනෑකමින්ම අපගේ ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුම් දීම මඟහැර සිටිනවා. එසේ සිදුනොකළ යුතුයි.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසු දෙමළ ජනතාව වෙනුවෙන් පොරොන්දු රැසක් ලබාදුන්නා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුම් ගෙන එන බවට දෙමළ ජාතික සන්ධානයටත් දෙමළ ජනතාවටත් ජාත්‍යන්තරයටත් පොරොන්දු වුණා. ඒ සියළු පොරොන්දු ඉටුකල යුතුයි. ජාතික ගැටළුවට දේශපාලන විසඳුම් ගෙන ඒම තුළින් පමණක්මයි දෙමළ ජනතාවට නිදහසේ ජීවත්විය හැකි වන්නේ යැයි තමන් අග්‍රාමාත්‍යවරයාට හමුවී අවධාරණය කළ බවද සම්බන්ධන් මහතා කියා සිටියේය.

Read more

Local News