සමූපකාරය නියාමන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

Share

සමූපාකාර ක්ෂේත්‍රය නියාමනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරිමට කර්මාන්ත, වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන්වූ පුද්ගලන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඒ හරහා සමූපකාර මූල්‍ය ක්ෂේත්‍රය මුහුණදී ඇති ගැටලු විසඳීම හා සමූපාකාර ග්‍රාමීය බැංකු හා අනෙකුත් මූල්‍ය සේවා සමූපාකාර සමිති නියාමනය, අධීක්ෂණය, ප්‍රවර්ධනය හා බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් නෛතික ප්‍රතිපාදන සැලසීම පිණිස පනතක් කෙටුම්පත් කිරීමට නියමිතය.

වර්තමානය වන විට දිවයින පුරා සමූපකාර ග්‍රාමීය බැංකු 2269ක්, සමූපකාර ග්‍රාමීය බැංකු සංගම් 17ක් හා මූල්‍ය සේවා සමූපකාර සමිති 8004ක් ක්‍රියාත්මකව පවතියි. එමෙන්ම සමූපකාර ග්‍රාමිය බැංකු පද්ධතිය මඟින් රුපියල් බිලයන 115ක් පමණ සාමාජික හා සාමාජික නොවන තැන්පත් රැස්කර තිබේ. එසේම රුපියල් බිලියන 59.8ක් පමණ මුළු ණය ලෙස නිකුත් කර තිබේ.

එයට අමතරව අනෙකුත් මූල්‍ය සේවා සමූපකාර සමිති විසින් රුපියල් බිලියන 104ක පමණ මුදලක් තැන්පතු ලෙස රැස්කර ඇති අතර රුපියල් බිලියන 95ක පමණ මුදලක් ණය ලෙස නිකුත් කර තිබේ.

සමූපකාර ව්‍යාපාරය මෙ ආකාරයෙන් මූල්‍යමය වශයෙන් ශක්තිමත් වුවද ඇතැම් මූල්‍ය සේවා සමූපකාර සමිතිවල දුර්වල මූල්‍ය කළමනාකරණය හේතුවෙන් ප්‍රාග්ධන අලාභවලට මුහුණදීමට සිදුව ඇති බව හා අරමුදල් අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බවට නිරීක්ෂණ වී තිබේ.

මේ අතර සමූපාකාර ක්‍රමවේදය, එහි දැනට පවතින ගැටලු, එම ගැටලු සඳහා විසඳුම් හා ඒ සඳහා සමූපකාර නීති රාමුව තුළ සිදුවිය යුතු සංශෝධනය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරිම සඳහා විද්වත් මණ්ඩලයක් පත්කිරීමටද අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read more

Local News