බුද්ධි අංශ ඔත්තුකරුවන්ගේ නම් ඉල්ලීම සම්පූර්ණයෙන් වැරදි

Share

පටු දේශපාලන වුවමනාවන් ඉටු කරන්නට බුද්ධි අංශ ඔත්තුකරුවන්ගේ නම් ලැයිස්තු ඉල්ලීම සම්පූර්ණයෙන් වැරදි බවද දේශපාලන වුවමනාවන් ඉටු කිරීමට යෑමේදී සිදුවන්නේ රටෙහි ජාතික ආරක්ෂාවට ගැටළු ඇති වන බවද විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසූයේ ඊයේ(31) පස්වරුවේ තංගල්ල කාර්ල්ටන් නිවෙසේදී පැවැති ජනහමුවකට සහභාගී වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ,

ඔත්තු සොයන්න නම් සංවිධාන ඇතුළට ඇතුළු වෙන්න ඕනෑ. ඒක ඕනෑම රජයක් කරන දෙයක්. පොලිසියත් කරනවා. ඔත්තුකරුවාට මුදල් ගෙවනවා.

මේ සංවිධානය හැදෙනකොටම කණ්ඩායම් ඇතුළු කරලා තිබුණා අපේ බුද්ධි අංශවලින්. ඒ අයට තොරතුරු ලබා ගන්න තොරතුරකට ගණනක්, නැත්නම් මාසෙකට ගණනක් ගෙවන්න සිදුවුණා.

ඒක අල්ලගෙන අද ඒ ලැයිස්තු ඉල්ලනවා. චෝදනා ඉදිරිපත් කරලා මේ අයගේ පටු දේශපාලන වුවමනාව ඉටු කරන්න, මඩ ගහන්න ඕනෑකමට මේ අය ඒවා හෙළිදරව් කරන්න ප්‍රශ්න කරමින් ඉන්නවා. මෙය සම්පූර්ණයෙන් වැරැදියි. ඔත්තු සේවයක් හෝ යම් රහස්‍ය භාවයක් තිබෙන යම් දේවල් පිළිබදව නතර කරන්න ඕනෑ මුළු රටත් එක්ක නෙවෙයි.

වගකීමෙන් යුක්තව ඒ පරීක්ෂණ කරන්න ඕනෑ. ආවට ගියාට මඩ ගහන්න, කාටහරි ඉලක්ක කරගෙන දේශපාලන වුවමනාව ඉටු කරන්න ගිහිල්ලා මේ රටේ ජාතික ආරක්ෂාවටයි ගැටළු ඇතිවෙන්නේ. එය දැන් කෙරීගෙන යනවා. මේ දේවල් ගැන රට තුළ අවධානය යොමු විය යුතුයි.

බෝම්බ පිපිරෙන්න කලින් රටේ තිබුණු තත්ත්වයත් බෝම්බය පිපිරුණාට පසුව තිබෙන තත්ත්වයත් බැලුවාම ඉතාම කණගාටුදායකයි.

මේ පිළිබදව තොරතුරු ආණ්ඩුවට වේලාසනින් ලැබිලා. අපිට දැනගන්න තිබෙන්නේ හතරවැනිදා ලැබුණා කියලායි. එදා සාක්ෂිවලින් කියවෙනවා ලැබුණේ නව වැනිදා කියලායි. එහෙම නව වැනිදා ලැබිලාත් දවස් දොළහක් විතර කිසිම දෙයක් සාකච්ඡා කර නොමැති බව සාක්ෂිවලින් ඔප්පු වෙමින් පවතිනවා.

හාර හාර අවුස්සනවා සල්ලි දුන්නද සංවිධානයකට කියලා. ඒ සංවිධානයේ ඇතුළේ සමහර අයට සල්ලි ගෙවුවද. ඒ නිලධාරියා කියනවා ඔව්, එහෙම දේවල් සිදුවෙනවා.

හැබැයි මම කැමැති නැහැ එවැනි දේවල් ප්‍රසිද්ධියේ කතා කරන්න. පෞද්ගලිකව කතා කළොත් හොඳයි මේ වගේ දේවල් කියලා කිව්වා. මොකක්ද මේ කරන්න හදන්නේ. මිලේනියම් සිටි ප්‍රශ්නය ආපු වෙලාවේ නම් හෙළිදරව් කළායින් පසුව එල්ටීටීඊ එක එකින් එක ඇවිත් ඒ අයව මරලා දැම්මා.

ඒ සංවිධානයේ හිටපු අපේ ක්‍රියාකාරී හමුදාවේ ගණනාවක් මරලා දැම්මා. එක්කෙනෙක් යන්තම් බේරගත්තා ලංකාවෙන් පිටට ගිහිල්ලා.

මේ කාලය තුළ ඉතාමත් පරිස්සම් විය යුතුව තිබෙනවා. අද අපිට කියනවා දැන් ඔක්කොම හරි. සියයට අනූනවයක්ම. හැබැයි සියයට එකක් තිබෙනවා. අපිට ඔය සියයට එක ගැන තමයි ප්‍රශ්නය තිබෙන්නේ. ” යැයි ද වැඩිදුරටත් පැවසීය.

Read more

Local News