මගේ දේශපාලන ප්‍රතිරූපය විනාශ කරන්න බෑ – අකිල

Share

අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් ක්‍රියාවට නැංවූ ජනතාවාදී වැඩසටහන්වලට පහර දි තමන්ගේ දේශපාලන ප්‍රතිරූපය විනාශ කිරීමට නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ බඳවා ගෙන සිටි සංවර්ධන නිලධාරීන් පන්සිය අනූ දෙදෙනකුට ජාතික හා පළාත් පාසල්වල සිංහල හා දෙමළ මාධ්‍ය ගුරු පත්වීම් පිරිනැමීම සඳහා බත්තරමුල්ල, පැලවත්ත අපේ ගම පරිශ්‍රයේ පැවති උත්සවයේ දී අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කර සිටියේය.

පාසල් නිල ඇඳුම් රෙදි වෙනුවට වවුචර් ක්‍රමය හඳුන්වා දි සිසු දරුවන්ට උසස් තත්ත්වයේ නිල ඇඳුමක් ලබා දීමටත් නිල ඇඳුම් ලබා දීමේ දී එතෙක් පැවති දූෂණ හා අක්‍රමිකතා නවතා කිසිවෙකුටත් අත යට ගනුදෙනු කරගත නොහැකි වන පරිදි  විනිවිද පෙනෙන ආකාරයෙන් වවුචර් ක්‍රමය ක්‍රියාත්මක කළ බැවින් රජයට රුපියල්  කෝටි ගණනක මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වූ බවත් අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

සුරක්ෂා රක්ෂණ ක්‍රමය සම්බන්ධ‍යෙන් ඇතැමුන් විවේචන කළත් සුරක්ෂා රක්ෂණාවරණය එම පෞද්ගලික ආයතනයට ලබා දීම අධ්‍යාපන අමාත්‍යාංශයේ වපසරිය යටතේ සිදුකළ ක්‍රියාවක් ‍නොව අභියාචනා කමිටුවක් මගින් සිදුකරන ලද්දක් බව ද  අමාත්‍යවරයා සඳහන් කළේය.

පාසල් පෙළපොතෙහි අධ්‍යාපන අමාත්‍යවරයාගේ පණිවිඩයක් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ඇතැමුන් බොහෝ විවේචන පළ කළත් පසුගිය වසර වල එවකට සිටි අධ්‍යාපන අමාත්‍යවරයාගේ පමණක් නොව ජනාධිපතිවරුන්ගේ පණිවිඩ ඇතුළත් කර තිබූ ආකාරය ද පෙන්වා දුන් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තමාගේ පණිවිඩය ඇතුළත් කළත් ඒ වෙනුවෙන් රුපියලක් හෝ වැඩිපුර මුදලක් වැය වී නොමැති බවත් කියා සිටියේය.

නව තාක්ෂණය වේලාසනින් ම දරුවන් අතට පත්කිරීමේ උත්සාහයක් වශයෙන් ටැබ් පරිගණක ලබා දීමට පියවර ගනිද් දී ඒ පිළිබඳවත් විවිධාකාරයෙන් පහර දී සිදු කරන බාධා කිරිම් ගැන සඳහන් කළ අමාත්‍යවරයා එවැනි බාධක නොතිබුණේ නම් මිටත් වඩා ජවයකින් ඉදිරියට යා හැකි වනු ඇතැයි ද අවධාරණය කළේය.

උපාධි ගුරුවරුන්ට තමන් උපාධියට හදාරන ලද විෂයයන් ම පාසලේ දී ඉගැන්වීමට ද අවස්ථාවක් නොලැබීම අධ්‍යාපනයේ එක්තරා දුර්වලකමක් වශයෙන් සඳහන් කළ අමාත්‍යවරයා පින්ලන්තය වැනි දියුණු රටවල අධ්‍යාපනයේ ඇති ගුණාත්මක තත්ත්වයන් මෙරට පාසල් අධ්‍යාපනයට හඳුන්වා දීමේ වැදගත්කමත් සඳහන් කළේය.

Read more

Local News