පොලිස්පති සහ හිටපු ආරක්ෂක ලේකම්ට එරෙහි නඩුවට පුර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලයි

Share

පාස්කු ඉරිදා සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව නීතිමය පියවර ගන්නා ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙසට නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අද (31) ඉල්ලා සිටියා.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ජාතික වැදගත්කමකින් යුත් නඩු කටයුතු බැවින් ඒවා විභාග කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව  ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් පහක් හෝ ඊට වැඩි දෙනෙකුගෙන් යුත් පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙසට ඉල්ලා නීතිපතිවරයා මෝසමක් ගොනු කළ බව අතිරේක සොලිසිටර් ජනරාල් ෆර්සානා ජාමිල්  ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

ඒ අනුව මෙම පෙත්සම් ජූනි මස 6 දා කැදවීමට විනිසුරු සිසිර ද ආබෲ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළා .

එහිදී වගඋත්තරකරුවන් ලෙසට නම් කර ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අය වෙනුවෙන් පුද්ගලික  නීතිඥවරු දෙදෙනෙකු පෙනී සිටියා.

මෙම වගඋත්තරකරුවන්ට නීතිපතිවරයා පෙනී නොසිටින බවට මීට පෙර අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

Read more

Local News