ඥානසාර හිමිට එරෙහි අභියාචනා පෙත්සම සලකා බැලීම ලබන 22 වැනිදා

Share

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වෙත පනවා තිබෙන අත්හිටවූ සිර දඬුවම අහෝසි කර එය අනිවාර්ය සිර දඬුවමක් බවට පරිවර්තනය කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනා පෙත්සම ලබන මස 22 වනදා සලකා බැලීම සඳහා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

එම පෙත්සම අද(31) සිසිර ද ආබෲ, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණි අමරසේකර යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේ පෙත්සම ලබන මස 22 වනදා සලකා බැලීම සඳහා කැඳවන ලෙසයි.

සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය කියා සිටින්නේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් වීම පිළිබඳ නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී තමන්ට බැණ තර්ජනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එම අධිකරණය මගින් මාස හයක සිරදඬුවමක් නියම කළ බවයි.

එම සිර දඬුවම අහෝසි කරන මෙන් ඉල්ලා ඥානසාර හිමියන් ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කළ හෝමාගම මහාධිකරණය උන්වහන්සේට මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබාදුන් මාස හයක සිරදඬුවම අත්හිටවූ සිර දඬුවමක් බවට පරිවර්තනය කළ බව ද එක්නැලිගොඩ මහත්මිය පවසයි.

හෝමාගම මහාධිකරණය මගින් ඥාණසාර හිමියන්ට අත්හිටවූ සිර දඬුවමක් ලබා දීමේ තීරණය මුළුමනින්ම නීතියට පටහැනි බව පෙන්වා දෙන එක්නැලිගොඩ මහත්මිය එම තීරණය අහෝසි කොට ඥාණසාර හිමියන්ට පැනවූ මාස හයක සිර දඬුවම ක්‍රියාත්මක කරන ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Read more

Local News