‘නීල ආර්ථික වැඩසටහන’ ට අයවැයෙන් විශාල සහයෝගයක්

Share

ධීවර කර්මාන්තයේ උන්නතිය සඳහා තමා විසින් 2016 වසරේ දී ඉදිරිපත් කරනු ලැබු ‘නීල ආර්ථික වැඩසටහන’ ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් ඇමති මංගල සමරවීර මහතා මෙවර අයවැයෙන් විශාල සහයෝගයක් ලබා දී ඇතැයි ධීවර සහ ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතා පැවසීය.

ධීවර කර්මාන්තයට මෙවර අයවැය මඟින් බදු සහන ගණනාවක් ලබාදී ඇති බවත් අඩි 55 බහුදින ධීවර යාත්‍රා සඳහා ලබාදී ඇති බදු සහනය ඉන් ප්‍රධාන තැනක් ගන්නා බවත් රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේ අද (23) පැවැති රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදීය.

බහුකාර්ය ධීවර වරායන් පිහිටුවීමෙන් බලාපොරොත්තු වන්නේ ධීවර කර්මාන්තය, සංචාරක කර්මාන්තය මෙන්ම වරාය මඟින් සිදු කෙරෙන වාණිජ කටයුතු කරගෙන යාම බවත් තමා දකුණු කොරියාවේ සංචාරයක යෙදුණ අවස්ථාවේ එරට ධීවර අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කොට මේ පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ බවත් වෙදආරච්චි මහතා කීය. ඒ අනුව කොරියානු ආධාර ඇතිව උතුරේ ඩෙලිෆ්ට් මාදගල් උඩප්පු හා චලේ යන ස්ථානයන්හි මෙම බහුකාර්ය ධීවර වරායන් 2019 වසරේ දී ඇරැඹීමට කටයුතු යොදා තිබේ. එසේම තංගල්ල ධීවර වරායද බහුකාර්ය ධීවර වරායක් ලෙස සංවර්ධනය කරන බව ද ඒ මහතා තවදුරටත් කීය.

ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් අබ්දුල් මජීඩ් සහ ඇමැතිවරයාගේ උපදේශක අයේෂ් රණවක යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.

Read more

Local News