ලංකා – පාකිස්ථාන ගුවන් ගමන් යළි අරඹයි

Share

මාස තුනකට අධික කාලයක් අත් හිටුවා තිබූ පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් ඊයේ (01) දින දහවල් සිට යළි ක්‍රියාත්මක වීම ආරම්භ විය.

පාකිස්තානය සහ ඉන්දියාව අතර හටගත් යුධමය වාතාවරණය හේතුවෙන් හා පාකිස්තාන රජය එරට ගුවන් කලාපය වසා දැමීම හේතුවෙන් ඉකුත් පෙබරවාරි මස 27 දින සිට මෙම ගුවන් ගමන් අත් හිටුවා තිබුණි.

මේ හේතුවෙන් ගුවන් මගීන් මහත් අසීරුවට පත් වී සිටි අතර, පසුව මෙම මගීන් මැදපෙරදිග රටවල ගුවන් තොටුපළ ඔස්සේ පාකිස්තානය බලා යෑමට පියවර ගෙන තිබුණි.

එමෙන්ම තවදුරටත් පාකිස්තාන ගුවන් සීමාව සම්බන්ධයෙන් ඇති සීමා කිරීම් නිසා ලාහෝර් වෙත සිදු කෙරෙන ගුවන් ගමන් තවදුරටත් ක්‍රියාත්මක නොවෙන බවත් වාර්තා වෙයි.

පාකිස්තානයේ වානිජ අග නගරය වන කරච්චි නුවර වෙත ප්‍රථම ගුවන් යානය ඊයේ (01) දින දහවල් 12.20 ට කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය අතර, එය කරච්චි නුවර වෙත පස්වරු 3.10 ට ළගා විය.

පසුව එම ගුවන් යානය යළිත් පස්වරු 4.10 කරච්චි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ බලා පිටත්වු බව වාර්තාවෙයි.

ඊයේ සිට මෙම පාකිස්තාන – ශ්‍රී ලංකා ගුවන් ගමන් සතියේ දින පහකම එනම් අගහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා යන දින වල මෙම වේලාවන්ටම ක්‍රියාත්මක වීමට නියමිතය.

මෙම ගුවන් ගමන සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඒ.- 320 එයා බස් වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර, එහි මගීන් 166ක් සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 08 දෙනෙකු ද ගමන් ගත්හ.

Read more

Local News