රජයේ ඇතැම් ආයතනවල ෂරීයා නීතිය ක්‍රියාත්මක වෙනවා

Share

ඇතැම් ආයතන සංස්ථාගත කිරීමේදී ෂරීයා නීතිය යටතේ ක්‍රියාත්මක වන බවට පාර්ලිමේන්තුවේදී වගන්ති සම්මත කරගෙන ඇති බවත්, ඒවා පිළිබඳව සොයා බලා රට එක නීති පද්ධතියකට ගෙන ආ යුතු බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ගල්කිස්ස ධර්මපාලාරාමයට ඊයේ (1) පැමිණි අවස්ථාවේදීය.

මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අමරපුර මහා නිකායේ උත්තරීර මහනායක අග්‍ර මහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් බැහැදැකීම සඳහා ගල්කිස්ස ධර්මපාලාරාමයට ඊයේ පැමිණියේය.

මීළඟට එන මැතිවරණයකදී වුණත් නිෂ්චිත තීරණයක් ගැනීමේදී මහජනයා අතර අවුලක් ඇති වෙලා තියෙන බවට අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමි යොමුකළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

“ඒක ගැන අපිත් කල්පනා කරනවා මහනායක හාමුදුරුවනේ 2020 ජනවාරි 8 වෙනිදාට අලුත් ජනාධිපති කෙනෙක් ඉන්න ඕන.

ඉතිං ඒ ජනාධිපතිවරණය දක්වා මේකේ උණුසුම ගියොත් මිනිස්සු තීරණ ගන්නේ රටේ අනාගතය, පහුගිය අවුරුදු පහේ සංවර්ධනය,ආරක්ෂාව ගැන නෙමෙයි.

මේ ප්‍රශ්නය මත පදනම් වෙලා තමයි හිතේ වේගෙට තීරණ ගන්නේ.

ඡන්දය දවස කල් දාන්න බෑනේ අපිට.මේ අණපනත් ටික සම්මත කර ගත්තම රට නිවෙයිනේ.

ඒ නිසා අඩුම ගානේ ජූනි මාසේ ජූලි මාසෙවත් කරන්න ඕන.

ඊළඟට මතු වෙලා තියෙනවානේ මහනායක හාමුදුරුවනේ මේ විදේශීය හමුදා එන්න පුළුවන්.

මේ ප්‍රශ්නයට බලවත්ව මැදිහත් වෙච්ච 4 දෙනෙක් අත්අඩංගුවට ගත්තේ සෞදි අරාබියාවේදී.

ඉතිං ඒක නිසා අපිට ඒ වගේ වෙලාවට අනිවාර්යයෙන්ම ඒවා අවශ්‍යයි.

ඊළඟට මේ ප්‍රහාර පිළිබදව ආගමික ගුරුවරයෝ හැටියට උපදෙස් ලැබිලා තියෙන්නේ ඉන්දියාවෙන්, තමිල්නාඩුවෙන්.

ඉතිං ඔය කේරලය, තමිල්නාඩුව කියන ප්‍රාන්ත දෙකෙත් යම් යම් පුහුණු කඳවුරු පවත්වාගෙන යනවාද කියන සැකය ඇතිවෙලා තියෙනවා බලධාරීන්ට මෙහෙ ඉන්න පිරිස් ප්‍රශ්න කිරීමෙන් පස්සේ.

ඉතිං ඒ නිසා ඒ කට්ටියගෙත් උනන්දුවක් තියෙනවා.

ඒවත් එක්කත් අපි සම්බන්ධවෙලා කටයුතු කරන්න ඕන.

නමුත් අර හමුදා එනවා කියලා බයක් ඇති කරලා තියෙනවා එහෙම දෙයක් නෑ. එහෙම දෙයක් කරන්න දෙන්නෙත් නෑ”

අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් පළ කළේය.

එහිදී සියල්ලන්ට පොදු එක් නීතියක අවශ්‍යතාවක් ඇති බවත් පාර්ලිමේන්තුවේ ඇතැම් ආයතන සංස්ථාගත කිරීමේදී ෂරීයා නීතිය ක්‍රියාත්මක වෙන වගන්ති සම්මත කරගෙන ඇති බවත් ඒ මහතා පවසයි.

ඒවා රටේ සාමාන්‍ය නීතිය යටතේ ක්‍රියාත්මක කළ යුතු බවත් එමඟින් මුස්ලිම් අනන්‍යතාව විනාශ කිරීමක් සිදු නොවන බවත් රට එක නීති පද්ධතියකට ගැනීම සිදු කරන බවත් පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

Read more

Local News