මධුමාධවගේ‍ පෙත්සම සලකා බැලීම ලබන 13 වැනිදා

Share

පොලිසිය විසින් තමන්ව අත් අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ලබන 13 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද (03) සිසිර ද ආබෲ, එල්.ටී.බී දෙහිදෙනිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ගැන ලැබුවේය.

එහිදී පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙන ඇතැම් පුද්ගලයින්ට නොතීසි ලැබී නොමැති බව අධිකරණය හමුවේ කරුණු අනාවරණය විය.

ඒ අනුව පෙත්සම සලකා බැලීම ලබන 13  වන දා සිදුකෙරෙන බව අධිකරණය නියම කළේය.

මධුමාධව අරවින්ද මහතා සඳහන් කර සිටින්නේ ඉකුත් දා මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවූ කලහාකාරී සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අයුක්ති සහගත ලෙස තමන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවයි.

එම සිද්ධියට අදාළව මේවන විට පොලිසිය තමන් විදේශ ගතවීම වැළැක්වීමේ නියෝගයක් ලබාගෙන ඇති බවත් තමන්ගේ දුරකථන ඇමතුම් පිළිබඳ විස්තර වාර්තාවක් අධිකරණය වෙතින් කැඳවා ඇති බවත් මධුමාධව අරවින්ද මහතා පවසයි.

පොලිසිය ඉතා අසාධාරණ ලෙස තමන්වත් අත් අඩංගුවට ගැනීමට සූදානම් වන බවත් එය වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් මධුමාධව අරවින්ද මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Read more

Local News