ත්‍රස්ත ප්‍රහාරයේ පෙත්සම් විභාගයට සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

Share

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එළ්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරු මූලික අයිතීන් කඩ කර ඇති බවට චෝදනා කරමින් ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් 07 ක් සලකා බැලීම සඳහා අගවිනිසුරුවරයා විසින් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුලක් පත් කිරීමට තීරණය කර තිබේ.

මෙම පෙත්සම් අද(06) බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා විවෘත අධිකරණය ප්‍රකාශ කර සිටියේ මෙම පෙත්සම් ජාතික වැදගත්කමක් සහිත පෙත්සම් සේ සලකා ඒවා සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට අගවිනිසුරුවරයා විසින් තීරණය කර ඇති බවයි.

ඒ අනුව නඩුවට අදාළ සියළු ලේඛණ අද දින සිට සතියක් ඇතුලත වගඋත්තරකාර පාර්ශ්වය වෙත ලබාදෙන මෙන් විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් ට  නියම කළේය.

ඒ අනුව නඩුවට අදාළ විරෝධතා තිබේනම් ඒවා අද දින සිට දෙසතියක් ඇතුළත අධිකරණය හමුවේ ගොනු කරන ලෙසත් ඊට අදාළ ප්‍රතිවිරෝධතා තිබේනම් ඒවා එතැන් පටන් සතියක් තුළ ගොනු කරන ලෙසද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල දෙපාර්ශවයේ නීතිඥවරුන්ට දන්වා සිටියා.

අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා ජූලි මස 12 වනදා කැඳවන ලෙසයි ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේ.

මෙම පෙත්සම් ඉකුත් දා කැදවු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් ෆර්සානා ජමීල් මහත්මිය අධිකරණයට දන්වා සිටියේ මෙය ජාතික වැදගත්කමක් සහිත නඩු කටයුත්තක් බැවින් එය පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා මෙන් නීතිපතිවරයා විසින් අග විනිසුරුවරයා වෙත මෝසමක් මගින් ඉල්ලීමක් කර ඇති බවයි.

ඒ අනුව අදාළ පෙත්සම් සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට අග විනිසුරුවරයා තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා නිතිඥ සංගමය, සංචාරක කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයෙකු වන ජනක් ශ්‍රී විදානගේ සහ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානය තුළ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය දරුවන් දෙදෙනෙකු වෙනුවෙන් ඔවුන්ගේ පියා වන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි  සමන් නන්දන සිරිමාන්න යන අය ඇතුළු පාර්ශව හතක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර පිළිබඳව බුද්ධි අංශය විසින් පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක බලධාරීන්ට කලින්ම දැනුවත් කර තිබූ බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කර තිබුණේ නම් මෙවැනි විනාශයන් වළක්වා ගැනීමට ඉඩ තිබූ බවද කියා සිටියා.

එසේ තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් වග උත්තරකරුවන් දණ්ඩ නිති සංග්‍රහය මෙන්ම අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා  සිදුකර ඇති බවයි  පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ.

වග උත්තරකාරුවනගේ ක්‍රියාකලාපය තුලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස  ඔවුන් ඉල්ලා සිටියා.

වග උත්තරකරුවන්ගේ නොසැලකිලිමත් ක්‍රියා කලාපය හේතුවෙන් සිදූවූ  මනූෂ්‍ය  ඝාතන හා තුවාල කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් වග කිවයුතු පොලිස්පතිවරයාට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පවරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන මෙන් පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

Read more

Local News