රාජ්‍ය සේවිකාවන්ට ඔසරිය හා සාරිය අනිවාර්ය කිරීමේ චක්‍රලේඛය අත්හිටුවයි

Share

රාජ්‍ය නිලධාරිනියන්ට සාරිය හෝ ඔසරිය පමණක් හැඳ රාජකාරියට පැමිණෙන්නැයි දන්වා නිකුත් කල චක්‍රලේඛය වහාම අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

මානව හිමිකම් කොමිසම මේ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කරමින් රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දෙන්නේ කාන්තාවන් එක් එක් අවස්ථාවලදී විවිධ ඇඳුම් භාවිත කරන අතර ජන වර්ග අනුව ද අඳින ඇඳුම්වල වෙනස්කම් පවතින බව ය.

මෙය ඔවුන්ගේ මානව හිමිකම් කඩවීමක් බව ද කොමිසම පෙන්වා දෙන්නේය.

එය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ද මානව හිමිකම් කොමිසම සඳහන් කළේය.

රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා චක්‍රලේඛයක් නිකුත් කරමින් පසුගියදා පැවසුවේ රාජ්‍ය නිලධාරිනියන් සාරිය හෝ ඔසරිය පමණක් හැඳ රාජකාරියට පැමිණිය යුතු බව ය.

රාජ්‍ය සේවයේ නිලධාරීන් කලිසම, කමිසය හෝ ජාතික ඇඳුමෙන් සැරසී සේවයට වාර්තා කළයුතු බව ද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ චක්‍රලේඛයේ සඳහන්ව තිබුණි.

Read more

Local News